Dec 26

මිනිස්‌ වර්ගයාගේ ප්‍රකෝටිපති ගැලවුම්කරුවන්

BCE Millions of mankind

විසිවැනි සියවස ජයගන්නට කොමියුනිස්‌ට්‌වාදය අසමත් වුණා. එහෙත් සෙසු මිනිස්‌ වර්ගයා අතර තම අණසක පතුරවන්නට සුපිරි ධනපතියන්ට ඉඩ හැරීම එකම විකල්පයද? සමාජයක්‌ ලෙස ජය ගැනීමට නම් සමාජවාදී ක්‍රමවේදයක්‌ අප විසින් නිර්මාණය කර ගත යුතුයි. ‘මයික්‍රොසොෆ්ට්‌’ නම් වන සුප්‍රකට පරිගණක මෘදුකාංග සමාගමේ හිමිකරු වන, ධනවත්කමින් ලොව දෙවැනි තැන ඔටුනු පළන් බිල් ගේට්‌ස්‌ මහත්තයා පුන පුනා ධනවාදය විවේචනය කර තිබෙනවා. පාරිසරික කරුණු කාරණා මත ගණන් බලා වසර 2015 දී ඔහු තම හඬ අවදි කළා. දරුණු විනාශයකින් මිහිකත මඟහරවා ගන්න නම් වහාම පොසිල ඉන්ධන භාවිතය අවම කරන්නට ඕනෙ. පරිසර දූෂක පොසිල ඉන්ධන එහෙම නැතිනම් තෙල් ඉන්ධන වෙනුවට පරිසර හිතකාමී සහ ලාභදායී වෙනත් ඉන්ධන නිපදවීම ගැන පුද්ගලික අංශයේ ආකල්පය ඉතාමත් ආත්මාර්ථකාමියි. ඉතින් මිනිස්‌ වර්ගයාට ඒ සඳහා පිළිතුරු සොයන්න වෙන්නෙ වෙළඳපොළ නැමති දිය සුළියට එපිටින්. මිරිඟුවක්‌ පසු පස හඹා යැමක්‌ වෙන්න පුළුවන් වුණත් පරිසර හිතකාමී හරිත බලශක්‌ති උත්පාදනය වෙනුවෙන් ගේට්‌ස්‌ මහත්තයා නම් ඔහුගේ ධනයෙන් ඩොලර් බිලියන 2 ක්‌ යොදවන්න සූදානම්. එලෙසින්ම පොසිල ඉන්ධනවල අත්ඩංගුවෙන් අමෙරිකාව වසර 2050 දී නිදහස්‌ කර ගැනීමේ මෙහෙයුමට උපකාර කරන ලෙස සෙසු ප්‍රකෝටිපතියන්ට ඔහු ආමන්ත්‍රණය කරනවා. ගේට්‌ස්‌ මහත්තයාගෙ මේ යෝජනාව, සාම්ප්‍රදායික වාමාංශික තැනක ඉඳන් විහිළුවට අරන් හෑල්ලු කරන්න නම් පුළුවන්. ඒ කොහොම වුණත් අපේක්‌ෂාභංගත්වයට පත් අවංක වාමාංශිකයන්ගේ දක්‌ෂිණාංශික බව නම් මේ අපවාදවලින් කදිමට විදහා දැක්‌වෙනවා. ඉතින් පරිසර හිතකාමී විකල්ප බලශක්‌තීන් නිෂ්පාදනය ගැන ඔවුන්ගේ යෝජනාව මොකක්‌ද? වචන හරඹ කොයි තරම් ප්‍රසිද්ධ විවාද නොමග යවනවද කියලා අපි දන්නවනෙ? පරම පිවිතුරු සමාජවාදය ගැන ගේට්‌ස්‌ මහත්තයා කතා නොකරනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ධනවාදයේ කරුමක්‌කාර සීමා මායිම් ගැන ඔහු කියනවා. ඒ වගේම අදට ගැලපෙන සමාජවාදය මොකක්‌ද කියන එක ගැන, තමුන්ගෙම කියලා පැහැදිළි දැක්‌මක්‌ තිබෙනවද කියා අද ඉන්න සමාජවාදීන්ගෙන් අපට ප්‍රශ්න කරන්න වෙනවා. ඉතින් මේක මහ පරස්‌පර විරෝධී කරුමක්‌කාරකමක්‌. ගෝලීය ධනවාදයට එදිරිව ආ යුතු ප්‍රතිවිරෝධය මේ විදිහට එහි ඇතුළතින්ම පුන පුනා කඩාකප්පල් වෙනවා. ධනපති ක්‍රමයට විරුද්ධව ඉන්න අයගේ පළපුරුද්දේ ඇති දුගීකම නිසාම ධනපති ක්‍රමයේ අතු ඉති බෙදෙනවා. ඒ වගේම ධනවාදයට ප්‍රතිවිරෝධයකුත් තිබෙනවා. මේ ක්‍රියාවලීන් දෙක එකට එකතු කරවන සම්බන්ධීකරණයක්‌ පෙනෙන්නෙ නෑ. ධනවාදය විසින්ම ධනවාදයට එරෙහි බලවේග මැඬපවත්වන සට කපටකමක්‌ වෙන්න පුළුවන් ඒක. යහපත් ප්‍රකෝටිපතියන් ගැන මෙහෙම අමුතු අදහසක්‌ තිබෙනවා. සාම්ප්‍රදායික වැඩකරන ජනතාවගේ අයිතීන් ධනවාදය විසින් ගිලගන්නවා. ඒ අයිතීන් රැකගැනීමට බොහෝ වාමාංශිකයන් දුෂ්කර උත්සාහයක්‌ ගන්නවා. ඒ අතර පශ්චාත් ධනවාදය ගැන කතාකරන නව පශ්චාත් ධනපතියන් ධනවාදය විසින්ම ස්‌ථානගත කරගෙන තිබෙනවා. විදුලි වාහන නිෂ්පාදනය ඇතුළු ව්‍යාපාර රැසක හිමිකරු වන එලන් මස්‌ක්‌ගේ සිට සුප්‍රසිද්ධ මුහුණුපොතේ හිමිකරු වන මාක්‌ සකර්බර්ග් දක්‌වා අය එහි සිටිනවා. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස නව බුද්ධිමතුන් කණ්‌ඩායමක්‌ මතුවෙමින් තිබෙනවා. අපේ පොදු දේපළ පුද්ගලිකකරණය මොවුන්ගෙන් විදහා දැක්‌වෙනවා. එලම් මස්‌ක්‌ මහත්තයා එහි සංකේතයක්‌. ඔහු අයිති වන්නේත් බිල් ගේට්‌ස්‌, සකර්බර්ග් වැනි අයගේ පංතියටමයි. ඔවුන් සියලු දෙනාම සමාජය ගැන සවිඥානක ප්‍රකෝටිපතියන්. ඔවුන් ගෝලීය ප්‍රාග්ධනය නියෝජනය කරන්නන්. එමෙන්ම සෙසු ලෝකයා වසඟයට ගත හැකි බලයක්‌ ඇති ප්‍රගතිශීලීන්. කොටින්ම ඔවුන් අති භයංකාරයි. ඉතින් මේ අද්විතීය ධනවතුන්ට අනාගත අභියෝගයන්ගෙන් ලොව බේරාගත හැකිද? ජර්මානු දාර්ශනිකයකු වන පීටර් ස්‌ලෝටර්ඩයික්‌ මෙහෙම ප්‍රකෝපකාරී සිද්ධාන්තයක්‌ ඉදිරිපත් කරනවා. මීට පෙර අප ඉගෙන තිබෙනවා ලොව බේරා ගත හැක්‌කේ එකමුතු වූ දුප්පතුන්ට පමණයි කියා. නමුත් මේ ආකල්පය නිසා ඇති වූ විනාශකාරී ප්‍රතිවිපාක සහ ප්‍රචණ්‌ඩ සංහාර විසින් විශ්වය පුරාම අමනාපය ජනිත කළ බව විසිවන සියවස පෙන්වා දී තිබෙනවා. අවසානෙදි, විසිඑක්‌වන සියවස තුළදී දැන් අපට පිළිගන්න වෙනවා ලොව බේරා ගන්න පිළිවන් ධනපතියන්ට පමණක්‌ බව. ඒ වගේම අසාමාන්‍ය නිර්මාණශීලීන් වන බිල්ගේට්‌ස්‌ සහ ජෝර්- සොරස්‌ වැනි ත්‍යාගශීලීන් දේශපාලන නිදහස වෙනුවෙන් සහ රෝගවලට එරෙහිව ආණ්‌ඩුවලටත් වඩා අරගල කර තිබෙනවා. ඒ ගැන අපට වාද කළ හැකියි. සම්ප්‍රදායික ලිබරල් තරජනවලට එරෙහිව වම් ඉවුරේ වන අමනාපය සමඟ ස්‌ලෝටර්ඩයික්‌ගේ මේ අනාවරණය පටලවා ගත යුතු නෑ. ඒ මොකද කියනවා නම්, සුබ සාධනය වෙනුවෙන් මුදාහැරෙන ප්‍රචණ්‌ඩත්වය, සුලබව දකින්න තිබෙන ප්‍රජාතාන්ත්‍රික ඒකාධිපතිවාදය, ඒ තර්ජනවල මැද ඇති අදහස අනුමත කිරීමට හොඳටෝම ප්‍රමාණවත්. අද කාලෙදී කෙනෙකුගේ පුද්ගලික අභිමානය කියන්නෙ මහා පාපයක්‌. මූලික අයිතිවාසිකම් පරාධීනත්වයේ අයිතිවාසිකම් දක්‌වා තව තවත් සරල වෙලා. තව ජර්මානු චින්තකයකු වන නෝබට්‌ බොල්ස්‌ට අනුව, සුබසාධනය කියන්නෙ වත්මනේදී වඩ වඩාත් මිනිසුන් ඇබ්බැහි වුණු මත්ද්‍රව්‍යයක්‌. ඒ වගේම මිනිසුන්ගේ හොඳ අදහස්‌ එක්‌තරා අබිං ජාතියක්‌ බවට පරිවර්තනය වෙලා. නමුත් මෙතනදි ස්‌ලෝටර්ඩයික්‌ගෙ අදහසේ සුවිශේෂත්වයක්‌ තිබෙනවා. නවීන යුරෝපයේ සුවිශාල ආර්ථික සහ දේශපාලන ජයග්‍රහණයන්ගේ පැවැත්ම සුරක්‌ෂිත කිරීමට ඔහුගේ යෝජනාව උපාය මාර්ගයක්‌ බව ඔහුගේ අදහසයි. අඩුතරමෙ විෂය මූලික සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සිද්ධාන්තික සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එදිරිව තිබීම ස්‌ලෝටර්ඩයික්‌ට අනුව යුරෝපයේ යථාර්ථයයි. එය ජීවමානව තබා ගැනීමට නම්, ඔවුන්ට නව අර්තක්‍රම නිර්මාණය කර ගත යුතුයි. එමෙන්ම අභිමානනීය සංස්‌කෘතියකින් යුතු නව රාජ්‍ය තාන්ත්‍රික අවකාශයක්‌ නිර්මාණය කර ගත යුතුයි. නමුත් එය සාර්ථක වේවි කියා ඔහු සිතන්නේ නෑ. අපි නැවතත් බිල් ගේට්‌ස්‌ මහත්තයා දෙසට හැරෙමු. ඔහු නිවැරදිව ඔවුන්ගේ පාරිසරික ප්‍රශ්න ධනවාදය තුළ ස්‌ථානගත කරනවා. ක්‍රම වෙනසක්‌ වෙනුවෙන් වූ යෝජනා වෙනුවට එය නිවැරදිව හඳුනා ගැනීමට සෙසු ධනපතියන් හට ඔහු ආයාචනා කරනවා. ඒත් හැකි නම් ජයග්‍රාහකයන් හඳුනාගන්නා ධනේශ්වර නොවන ක්‍රමයක්‌ නිර්මාණය කිරීමට උත්සහ කිරීම වඩා යෝග්‍ය නොවේවිද?

සුජීව ක්‍රිෂාන්ත ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *