Jan 24

පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ අවමඟුලෙත් ගුටි ඇණ ගනී – Video

katharagama-case

පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කතරගම නාගහවීථිය පොදු සුසාන භූමියේදී ඊයේ (23) සිදු  කෙරුණා.

අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදී කතරගම නගරයේ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබූ බවයි.

කතරගම පොලීසිය ඉදිරිපිට පොලිස් කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථද නවතා තිබූ බව ඔහු කියා සිටියා.

කතරගම වැඩහිටිකන්ද ප්‍රදේශයේදී අණනොතකා ධාවනය කළ බව කියන යතුරුපැදියකට පොලීසිය කළ වෙඩිතැබීමකදී කතරගම ප්‍රාදේශිය සභාවේ සේවය කල 25 හැවිරිදි එක්දරු පියෙක් ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය 20 වෙනිදා රාත්‍රීයේයි.

සිද්ධියත් සමඟ නොසන්සුන්වූ ප්‍රදේශවාසීන් පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර, අවස්ථා දෙකකදී ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරුණා.

එහිදී අත්අඩංගුවට ගත් 58 දෙනෙකු පසුව ඇප මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ.

අත්අඩංගුවට ගැනුනු කාන්තාවන් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු තමන්ට පොලීසිය පහරදුන් බව පවසමින් කතරගම රෝහලට ඇතුළත් වූ අතර, පසුව ඔවුන් දෙබරවැව රෝහලට මාරු කර යැවුණා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර මෙම පොලිස් වෙඩි තැබීමට විරෝධය පළ කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (23) එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද පොලිස්පතිවරයාගෙන් මේ වනවිට වාර්තාවක් කැඳවා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරින් පිරිසක්ද කතරගම ප්‍රදේශයට ගොස් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින්.

මීට අමතරව පොලීසිය විසින් මියගිය පුද්ගලයාගේ පවුල වෙනුවෙන් නිවසක් තනා දීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ පවුල වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් පොලීසියට එරෙහිව පවුලේ ඥාතීන් මෙහෙයවීමට උත්සාහ කළ රාජ්‍ය නොවන සංවිධානවලට අයත් පුද්ගලයන් දෙදෙනෙකුටද ඊයේ (23) කතරගම ප්‍රදේශවාසීන් පහරදී ඇති බවට වාර්තාවනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉන් එක් අයෙකු ගම්වාසීන් පොලීසියට භාර දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *