Dec 26

දිවි දික්‌ කරදෙන සුනඛ මිත්‍රයෝ

වසර 33,000 ක අතීතයක පටන් මිනිසාගේ ළඟම මිත්‍රයා වූයේ සුනඛයාය. වනගත වෘකයින් ගෙන් පැවත එන සත්ත්ව විශේෂයක්‌ වන සුනඛයා සත්ත්ව විද්‍යාත්මකව canis lupus familiaris නමින් හැඳින්වෙයි. සුනඛයන් අද වනවිට නොයෙක්‌ උප විශේෂ වලින් දැකගත හැකිය. ඒ අතරින් ලොව දරුණුතම සුනඛ විශේෂය වන්නේ -ටිබෙටන් මස්‌ටිෆ්” (Tibetan Mastiff) ය. ටිබෙටය, චීනය, ඉන්දියාව, මොන්ගෝලියාව, නේපාලය ආශ්‍රිතව සම්භවය වූ මෙම සත්ත්වයින් යොදාගෙන ඇත්තේ මාංශභක්‌ෂක විලෝපිකයන්ගෙන් බැටලු පට්‌ටි ආරක්‌ෂා කරගැනීම සඳහාය.

මීට අමතරව ලොව වඩාත් ජනප්‍රිය සුනඛ විශේෂ ලෙස ජර්මන් ෂෙපර්ඩ්, රොට්‌වයලර්, බුල්ඩෝග්, බීගල්ස්‌, ඩැල්මේෂන්, හා චිහුආහා වැනි වර්ග (Breeds) පෙන්වා දිය හැක. ආරක්‌ෂාව ලබා ගැනීමට අමතරව බල්ලෙක්‌ ඇති කිරීම මගින් මගින් හදවත් රෝග හා මරණයට පත් වීමේ අවදානම පහත හෙලන බව ස්‌වීඩනයේ සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මෙම පර්යේෂණය සඳහා පර්යේෂකයින් විසින් වයස අවුරුදු 40 ත් 80 ත් අතර ස්‌වීඩන් ජාතිකයින් ලක්‌ෂ තිස්‌ හතරක්‌ සහභාගී කරගෙන ඇති අතර සහභාගී වූ සියලු සුනඛයින් ස්‌වීඩන් කෘෂිකර්ම මණ්‌ඩලයේ (wedish Board of Agriculture) ලියාපදිංචි කරන ලද සත්ත්වයින් බව පැවසේ. මෙම සුනඛයන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ කන් වල සටහන් කරන ලද අංකයක්‌ හෝ සමට යටින් තැන්පත් කරන ලද චිපයක්‌ භාවිතා කෙරුණි. මෙම අධ්‍යයනය ආරම්භ කිරීමට වසර දොළහකට පෙර සිට හෘද රෝග වැළඳී තිබූ අය මෙම අධ්‍යයනයෙන් ඉවත් කරන ලදී. සහභාගී වූ අනෙක්‌ සියල්ලන්ගේම වයස, ස්‌ත්‍රී පුරුෂ භාවය, විවාහක අවිවාහක බව, ආදායම සහ අනෙතුත් සාධක සියල්ලම මෙහිදී ප්‍රයෝජනයට ගෙන තිබේ.

අධ්‍යයනය අවසානයේ පර්යේෂකයන්ට පෙනී ගොස්‌ ඇත්තේ බල්ලකුගේ හිමිකරුවකු වීම නිසා මරණයට පත් වීමේ අවදානම 20% කින්ද හෘද රෝග වැළඳීම 23% කින්ද අඩුවන බවයි. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල දීර්ඝ වාර්තාවක්‌ ලෙස මේ වන විටත් පර්යේෂකයන් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

මෙහිදී ලබා ගත් තොරතුරු අනුව ඇති කරන සුනඛ වර්ගයද ප්‍රතිපල කෙරේ සැලකිය යුතු බලපෑමක්‌ ඇති කර තිබේ. ඒ අතරින් රිටි්‍රSවස්‌ / ලැබ්‍රඩෝ (Retrievers), පොයින්ටස්‌ (Pointers) යන සුනඛ වර්ග විශේෂයෙන් කැපී පෙනී තිබේ. මෙම වාර්තාව සැකසූ උප්සාලා විශ්වවිද්‍යාලයයේ (Uppsala University) වසංගත රෝග වේදියෙක්‌ වන -ටොව් ෆෝල්” (Tove Fall) පවසන අන්දමට පොමනේරියන් වැනි සුනඛ වර්ගයක්‌ ඇති කරනවාට වඩා වෙනසක්‌ ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයකු ඇති කිරීමේදී අයිතිකරු අත්විඳී. වැඩි දුරටත් කරුණු දැක්‌වූ ආචාර ෆෝල්, -සුනඛයකු ඇතිකිරීම නොඑක්‌ පැති වලින් වාසි සහගත වෙන්න පුළුවන්. ඒ වගේම සමාජයටත් යම් සේවයක්‌ වෙන්න පුළුවන්.

නමුත් මෙම අධ්‍යයනය මගින් පවසන්නේ නෑ බල්ලන් ඇතිකරන හැමෝම නිරෝගී වන බවක්‌ හෝ හැමෝම බල්ලන් ඇතිකළ යුතු බවත්. ඔබේ වයසක ආච්චි අම්මාට බල්ලකු ඇතිකරන්න දී ඇය නිරෝගීව ආයුෂ දික්‌ වේ යයි කියා නම් හිතන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *