Jul 22

මම මෙහෙ ඉඳන් වැහි වස්සවලා ඇමෙරිකාවම යට කරලා දානවා ජනාධිපති අපේක්ෂක අනෝජ්

“මට හිතුණොත් මම අනිවාර්යෙන් ලංකාවේ ජනාධිපති වෙනවා. මට හිතෙන දේ මම හොඳින් හරි නරකින් හරි කරගන්න මිනිහෙක්. මට තාම හිතුණේ නෑ. හිතෙන්න විතරයි ඕන.”
පසුගිය දිනක යූටියුබයෙන් ඇසූ කතාවකි. පඳුරක් ගාණේ ජනාධිපතිලා පැටව් ගසන කාලයක මෙවැනි කතා එතරම් පුදුම දේ නොවුණද, මේ කතාව කී පුද්ගලයා ගැන රස කතාවක් ඇත.
සිතූ සැණින් ලංකාවේ ජනාධිපති විය හැකි මේ අරුම පුදුම පුද්ගලයා කවුද?ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වා ය. ඔහු තමාව හඳුන්වා ගන්නේ රාවණා පරපුරෙන් පැවත එන හෙළ වෙදෙක් වශයෙනි. කොණ්ඩය, රැවුල වවාගෙන… අතේ කරේ යකඩ කිලෝ ගාණක් එල්ලා ගෙන සිටින මේ වෙදැදුරා වෙදකම ගැන පමණක් නොව හෙළ දැනුම, රාවණා බලය, මන්තර, කේන්දර, විශ්ව ශක්තිය, භාවනාව, අංගම්පොර ආදී තව බොහෝ දේ ගැන කතා කරයි. ලෝකයේ කාටවත් කළ නොහැකි දේවල් තමන්ට කළ හැකි බව කියයි. රට,

ජාතිය, ආගම ගැන මහා ඉහළින් කතාකරන ඔහු අද ලංකාවේ රූපවාහිනී නාළිකා ආදී බොහෝ මාධ්‍යවල ලොකු කතාකාරයෙකි. ඔහුගේ වීඩියෝ සියගණනක් යූටියුබයේ තිබේ. මම 2013 වසරේ දිනක ඔහු හමුවීමට ගියෙමි. එකල ඔහු අද තරම් මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් නොවේ. මම එහි ගියේ ඔහුව ඇන්නීමට හෝ ගොඩදැමීමට නොව ඔහුගේ මේ කියන හැකියාවන් මොනවාදැයි මැදහත්ව විමසා බැලීමටය.

“මමත් ඔයා වගේම ජාතිකවාදී අදහස් දරන සිංහලකම ගැන අපේ දැනුම ගැන උනන්දු කෙනෙක්…”

කලින් නොදන්වාම ඔහුගේ නිවසට ගිය මම සැකෙවින් මගේ අවශ්‍යතාව දැනුම් දුන්නෙමි. අනතුරුව ඉතා සුහදව පැයක් පමණ ඔහුගේ හපන්කම් ගැන සාකච්ඡා කළෙමි. ඔහු ඒ පැයට අරාබි නිසොල්ලාසය බඳු පුදුමාකාර කතා කන්දරාවක් කියාගෙන කියාගෙන ගියේය. අද්භූත දේවල් ගැන ඔහු රස කතා කියන්නේ හරබර වචනද යස පදමට මුසු කරගනිමිනි. ඔහුගේ දිග කතාව තුළ ඔහු කී ප්‍රධාන කාරණා කීපයක් මෙසේය.

ඇමෙරිකාව ජිනීවා යෝජනා ගෙනල්ලා ලංකාවට ගේම දෙන්න හැදුවොත් මම මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුළු ඇමෙරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා.

මම කියන කඳු තුනක චෛත්‍ය තුනක් හදන්න මට ආණ්ඩුව ඉඩදෙනවා නම් මම ලංකාවේ මිනිස්සුන්ට හැදෙන ලෙඩවලින් සීයට හැත්තෑ පහක් බේත් නැතුව හොඳ කරනවා.

මම කියන දේවල් හරියට කරනවා නම් ලෝකේ ඕනම හොඳ කරන්න බැරි ලෙඩෙක් මම සනීප කරනවා.

සරත් ෆොන්සේකාව හිරෙන් නිදහස් කරන්න හිතෙන්න කියලා මම තමයි මහින්ද රාජපක්ෂට විශ්ව ශක්තියෙන් බලපෑම් කළේ… මම ඒක කළේ ෆොන්සේකාව හිරේ දාපු එක මහින්ද මහත්තයාට හොඳ නැති නිසා…

ඔහු පොඩි පහේ ඔල්මාදකාරයෙකු විය හැකිදැයි මේ කතා අසන ඕනෑම අයෙකුට සිතිය හැකි වුවද මම ඉවසීමෙන් ඔහුගේ අරාබි නිසොල්ලාස කතා අසා සිටියෙමි. ඒ ඇමෙරිකාවට වැහි වැස්සවීම කෙසේ වෙතත් ඊට වඩා සරල දෙයක් හෝ ඔහුට කළ හැකිදැයි දැනගත යුතු වූ නිසාය. ඒ අතරේ අපූරු දෙයක් සිදුවිය. හදිසියේම අනෝජ්ගේ පියා හොඳටම බීගෙන ගෙදරට කඩාපාත් වූයේ කුණුහරප කියමින් පුටු මේස ආදියටද අතින් පයින් පහර දෙමිනි. මහා හෙළවෙදදුරුගේ ආනුභාවය දෙකක් දා ගත් පියා හමුවේ සුරුස් ගා වියැකී ගියේය.

“දැන් ගෙදර කතා කරන්න බෑ…. තාත්තා කචල් දානවා… අපි වෙන කොහාට හරි යමු.”

ඉන්පසු අපි අසල පන්සලකට ගියෙමු. නැවත අපේ කතාව ආරම්භ විය. ඔහු සුපුරුදු පරිදි තමාගේ බලය ගැන විද්‍යාත්මක හා දාර්ශනික කතා කියයි. ටික වේලාවකින් මම ඔහුට සරල හරස් ප්‍රශ්නයක් යොමු කළෙමි.

“අර මහින්ද රාජපක්ෂගේ හිත වෙනස් කළා කීවානේ… ඔයාට ඇයි බැරි ඒ ක්‍රමේට ඔයාගේ තාත්තාගේ හිත වෙනස් කරන්න….?”

අනෝජ් ද සිල්වා අන්දුන් කුන්දුන් වී සිනාසෙන්නට පටන් ගත්තේය.

“නෑ… ඒක කරන්න පුළුවන්… ඒත් ඒකට තාත්තා මගෙන් ඉල්ලීමක් කරන්න ඕන.” ඔහු කීවේය.

“එතකොට මහින්ද රාජපක්ෂ ඔයාගෙන් ඉල්ලීමක් කළේ නෑනේ… අනික බොන මිනිහා ඉල්ලීමක් කරයිද මගේ බීම නවත්තන්න කියලා… තව එකක්… උතුරේ යුද්දෙ ඉවර කරන්න අපි කොච්චර දුකක් වින්දද? ඔයා ඒ දවස්වල විශ්ව තරංග යවලා කෙළින්ම ප්‍රභාකරන්ගේ හිත වෙනස් කළා නම් සේරම ඉවරයිනේ…”

පැහැදිලි කිසිවක් නොකී මහා මන්ත්‍රාචාර්යවරයා ළමිස්සියක් සේ හිනැහෙන්නට පටන් ගත්තේය. ඔහුගේ නැව් තියරි කන්දරාව එක ප්‍රායෝගික තුරුම්පුවකින් කඩා වැටෙන සැටි මට පෙනෙයි. එහෙත් මම ඔහුව අපහසුතාවට පත් නොකර නැවත සුපුරුදු කතාව ආරම්භ කළෙමි. කාලය ගෙවී ගියේය. මම ඉතා ඉවසීමෙන් පුරා පැය පහක් තිස්සේ ඔහුගේ තර්ක එකින් එක ප්‍රශ්න කළෙමි. අවසානයේ මගේ නිගමනය වූයේ මෙයය.

“ඔයා ගොඩක් දේවල් කියනවා. ඕවා ඇත්ත වෙනවා නම් මමත් කැමතියි. හැබැයි කටින් කිව්වාට බෑ… ප්‍රැක්ටිකල් වෙන්න ඕන… ඔයා කියන දේවල්වලින් සීයට සීයක් ඕන නෑ…. සීයට දහයක් හරි ප්‍රායෝගිකව ඔප්පු කරන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඒකට ලෑස්තිද?”

ඒ ප්‍රශ්නයට ඔහුට පැහැදිලි පිළිතුරක් නැත. රාවණා පරපුරේ වීරයා පියවරෙන් පියවර පල්ලම් බසින බව මට පැහැදිලිව පෙනේ.

“ඇමෙරිකාවට වැහි වස්සනවා කීවා නේද… ඉතින් ඔයාට බැරිද ලංකාවට වැස්සක් වස්සලා පෙන්වන්න… ” මම ඔහුට යෝජනා කළෙමි.

“ම්ම්ම්…. පුළුවන්. ඒත් අයියේ ඒකට සති ගාණක් තිස්සේ වෙනම ලෑස්ති වෙන්න ඕන…. ඒවාට ගන්න තැඹිලි ජාතිය තියෙන්නේ මඩකලපුවේ…. රෑ දොළහට… කාටත් හොරෙන්…. කතා නොකර හෙළුවෙන් ගහට නැගලා…. තැඹිලි ගෙඩියක් කඩාගෙන…. අතේ තියන් බිමට බැහැලා…. ඒකෙන් තෙල් හිඳලා…. අහවල් ජාතියේ ගෙම්බෙක්ගේ මූත්‍රා ඒකට එකතු කරලා…. ඒ ගෙම්බොත් දැන් හොයාගන්න නෑ…. උන් ඉන්නේ අවුරුද්දේ එක කාලෙක සිංහරාජ වනාන්තරේ….”

ඔහු දුන් පිළිතුර එයම නොවුණද සෑම ප්‍රශ්නයටම ඔහු දැන් දෙන්නේ ඒ ජාතියේ ඉළ ඇදෙන පිළිතුරුය. ඔහු නොකෙරෙන වෙදකම්වලට කෝඳුරු තෙල් හත්පට්ටයක් සොයයි. ඔහු මුලදී මට කතා කළේ දරුවා කියාය. පැය පහකට පසු මහා මන්ත්‍රාචාර්යවරයා හොඳටම හොට බිම ඇනගෙන සිටි බැවින් මා ඔහුට දරුවා නොව අයියා වී සිටියේය. බලය ඔප්පු කිරීම සඳහා මම ඉදිරිපත් කරන සියලු සරල යෝජනා ඔහු නොයෙක් හේතු කියමින් ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ අලුත්ම උපාය තම හැකියාවන් ගැන කීම නොව නොහැකියාවට හේතු කප්පරක් ඉදිරිපත් කිරීමය.

“මුකුත්ම බැරි නම් අඩුම ගානේ ඔය කියන බලයෙන් තණකොළ ගහක් හරි හොලවලා පෙන්වන්න ඔයාට බැරිද… නැත්නම් අපි කොහොමද ඔයා කියන දේ පිළිගන්නේ….”

දස අතේ කල්පනා කළ අනෝජ් අවසානයේදී තම අත්භූත බලය ඔප්පු කිරීමට අපූරු ක්‍රමයක් යෝජනා කළේය. මගේ අතට සුරයක් දුන් ඔහු කීවේ එය පපුවට අල්ලාගෙන ඔහුගේ දේවාලය ඉදිරිපිටට වී කෙළින් සිටගෙන ඉන්න කියාය.

“ඔට්ටුයි හිටගෙන ඉන්න බෑ. සුරේ බලේට ඔයාව පස්සට විසිවෙලා යනවා…”

මම දේවාලය ඉදිරිපිට යහතින් නොසෙල්වී සිටගෙන සිටියෙමි. ඔහුගේ ඒ තුරුම්පුවද අනාථ වූ තැන අවසානයේ අනෝජ් තමාම සුරය අතට ගෙන දේවාලය ඉදිරියට ගොස් පස්සට විසි වී පෙන්නුවේය.

“ඔයාගේ බඩේ බහිරවයෙක් ඉන්නවා… ඒකයි අයියා ඔයාව පස්සට විසි වෙන්නේ නැත්තේ…”

කොමඩි නාටකයක් බඳු මේ සිදුවීම සිනා නොවී රස විඳීම ලේසි නොවීය. එහෙත් ඔහුට තවදුරටත් අවස්ථාව දීමට මම තීරණය කළෙමි.

“හරි දැන් බැරි නම් ඔයා කැමති දවසක, කැමති තැනක පුලුවන් දෙයක් කරලා පෙන්වන්න. කියන තැනකට මම එන්නම්. අනික මම ලෙඩ්ඩු කීපදෙනෙක්ව ඔයා ගාවට එවන්නම්. ඒ අය සනීප වෙනවාද කියලා එතකොට අපිට බලාගන්න පුලුවන්නේ…”

ලෙඩ සුව කිරීම මෙවැනි දේවල්වල ඇත්ත නැත්ත සෙවීමට සුදුසු සාර්ථක ක්‍රමයක් නොවුණද මම ඔහුට ඒ යෝජනාවද ඉදිරිපත් කළෙමි. අවසානයේදී එකිනෙකා සම්බන්ධ කර ගත හැකි සියලු තොරතුරු හුවමාරු කර ගැනීමෙන් පසු ඔහුට මම සුහදව සමුදුන්නෙමි. කියූ ආකාරයටම රෝගීන් තුන්දෙනෙක් ඔහු වෙත යැව්වෙමි.

නමුත් එදායින් පසු කොතෙක් උත්සාහ කළද නැවත කිසිදා මට අනෝජ්ව සම්බන්ධ කරගත හැකිවූයේ නැත. මා ඔහු ළගට යැවූ රෝගීන් තිදෙනාට කිසිදු සුවයක් අත් වූයේද නැත. පසුව මේ රසබර අත්දැකීම මගේ පේමතෝ ජායතී අසෝකෝ නවකතාවටද එකතු විය. එහි 171 පිටුවේ කියවෙන උපුල් වෙදාගේ චරිතය නිර්මාණය වූයේ අනෝජ් ද සිල්වාගේ කතාව පදනම් කරගනිමිනි. අදින් වසර 6කට පෙර අනෝජ් සිල්වාට මා කළ අභියෝගයන් තවමත් විවෘතය. රටේ ජනාධිපති වීමට පෙර හැකි නම් ඒ අභියෝගය භාරගෙන තමන්ට ඇතැයි කියන ‘බලයන්’ ඔප්පු කළ පෙන්වීමට ඔහුට හැකිය.

සිංහලයාගේ ඡන්ද කඩා සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන් ඇතුළු මුළු රටම නන්නත්තාර කිරීමේ දේශපාලන මෙහෙයුමක් මේ වන විට තදින්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. අද අනෝජ් ද සිල්වා වැනි විජ්ජාකරුවන් ඒ ක්‍රීඩාවේ ඉත්තන් බවට පත්ව සිටිති. හෙළ දැනුම ගැන අකට විකට කතා කියමින් සිංහලකම රකින්නට පෙරට එන්නේ මෙවැනි බොරු කටේ නරිවාදම්කාරයන් නම් සිංහලයා ඔවුන්ගෙන් පරිස්සම් වීම ඉතා යහපත් බව පමණක් අවසාන වශයෙන් ලියා තැබිය යුතුය.

ඉසුරු ප්‍රසංග (Aruna)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *