Dec 26

65 වැනි ස්‌නූකර් ශූරතාවේ 19 වැනි වරටත් අයිතිය බොතේජුට

යූ.ඩබ්. සුමතිපාල අනුස්‌මරණ කුසලාන වෙනුවෙන් 65 වැනි වරටත් පැවැති ජාතික ස්‌නූකර් ශූරතාව සී. එන්ඩ්ලස්‌ පිලේ සුසන්ත බොතේජු විසින් දිනාගන්නා අතරවාරයේ එම අනුශූරතාව දිනා ගැනීමට ද කියු කණ්‌ඩායම නියෝජනය කළ එම්.එෆ්.එම්. ෆාසිල් සමත් වූයේය.

දශක දෙකක අද්දැකීම් සපිරි සුසන්ත බොතේජු විසින් ජාතික ස්‌නූකර් ශූරතාවක්‌ දිනාගත් 19 වැනි අවස්‌ථාව වශයෙන් මෙය සටහන් විය.

තරග වට 11 ක්‌ දක්‌වා දීර්ඝ වූ මෙම අවසන් මහා තරගයේ තියුණු සටනකින් අනතුරුව වට 6-5 ක්‌ ලෙස සුසන්තට ජය හිමි විය.

පළමු වට දෙක නිමාවන විට 1-1 ක්‌ ලෙස සමතැන් ගැනීමට මොවුන් දෙපළම සමත් විය. නමුත් සිය පරිණත භාවය කදිමට භාවිත කරමින් 4-1 ක්‌ ලෙස බොතේජු ලබාගත් ඉදිරියට අභියෝග කළ ෆාසිල් එකට එක කරන්නා සේ නැවතත් වට 4-4 ක්‌ ලෙස සම තත්ත්වයට තරගය රැගෙන ආවේය.

අනතුරුව තරගයේ 10 වැනි වටය වනවිට 5-5 ක්‌ ලෙස පැවැති මෙම තරගයේ තීරණාත්මක 11 වැනි වටය ජය ගනිමින් බොතේජු අදාළ ශූරතාවට හිමිකම් කියන ලදී.

ඉකුත් වසරේ පැවැති 64 වැනි ජාතික ස්‌නූකර් ශූරතාවේදී අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සුසන්ත බොතේජුට සිදුවූ අතර ඔහු මෙම අනුශූරතාව දිනාගත් ෆාසිල් හමුවේ එහිදී පරාජය වී තිබීම විශේෂත්වයක්‌ බවට පත්ව තිබේ.

කෙසේ නමුත් ඉකුත් වසරේ අදාළ ශූරතාව ෆාසිල්ගේ නම ඉදිරියේ සටහන් වූයේ ජාතික ස්‌නූකර් ශූරතාවක්‌ දිනූ ලාබාලතම ක්‍රීඩකයා වශයෙන් ඉතිහාසයට එක්‌වෙමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *