Sep 03

නෝනා අකමැති වේවි ඒත් මගෙ අන්තිම කැමැත්ත ඒ විදිහටම කරන්න මහාචාර්ය කාලෝ ලෙඩ ඇඳේදී කියූ කතාව

මහාචාර්ය කාලෝ ෆොන්සේකා යනු මෙරට සාම්ප්‍රදායික වෛද්‍යවරයාගේ භූමිකාව අතික්‍රමණය කළ විශිෂ්ට මිනිසෙකුය. වෛද්‍ය විද්‍යාලයේදී ඔහු අති දක්ෂ වෛද්‍ය සිසුවකු වූ බව ප්‍රකටය. ඉනික්බිති මෙරට වෛද්‍යවරු දහස් ගණනකට මූලික වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන්
විශිෂ්ටතම ගුරුවරයකුද විය. කොළඹ වෛද්‍ය පීඨයේ භෞතවේදය පිළිබඳ මහාචාර්ය ධුරයත්, කැලණිය වෛද්‍ය පීඨයේ භෞතවේදය පිළිබඳ මහාචාර්ය ධුරය සහ පීඨාධිපති ධුරය හෙබවූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා දක්ෂ පරිපාලකයකුද විය. එතුමන්ගේ ඉගැන්වීමේ ශෛලිය කෙතරම් ආකර්ෂණීය වීද යත් බොහෝ වෛද්‍යවරුන් එතුමන්ගෙන් උගත් දේ අදටත් සිහිපත් කරන්නේ ඉමහත් ආදරයෙනි.

සාම්ප්‍රදායික වෛද්‍යවරයාගේ හතරැස් කොටුවෙන් ඔබ්බට ගිය මහාචාර්ය කාලෝ ෆොන්සේකා දක්ෂ සෞන්දර්යවාදියකු විය. දනන් තුඩ රැව්දුන් අර්ථවත් මිහිරි ගීත රැසක් එතුමා අතින් නිර්මාණය වී ඇත. මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ලේඛන කාර්යය වෛද්‍ය විද්‍යාවට සීමා වූයේ නැත.

කලාව, ආගම, දේශපාලනය, සමාජ විද්‍යාව සහ දර්ශනය පිළිබඳව ලිපිලේඛන රැසක් ලියා ඇති එතුමා විශිෂ්ට ලේඛකයකුද වන්නේය. බුදුදහම දර්ශනයක් ලෙස අගය කරන එතුමා,

විශිෂ්ට ගණයේ මිනිසකුද වන්නේය. එතුමාගෙන් උපකාරයක් අපේක්ෂා කරන ඕනෑම තරාතිරමක පුද්ගලයකුට හැකි පමණින් සේවය කිරීමට තරම් කාරුණික බවින් හා මිනිසත්කමින් එතුමා පොහොසත්ය, නොමසුරුය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නම රටුන්ගේ මතකයේ හැමදාමත් ඇත්තේ ඔහු දොස්තරවරයකු වීම නිසාම නොවේ. එකල තමා ළඟට එන කොයි කාට වුවත් නොමිලේ ප්‍රතිකාර කළ මානව හිතවාදී දොස්තරවරයකු ලෙස ඔහු වෛද්‍ය වෘත්තියේ ගරු සම්භාවනාවට වුවද, රටුන් අතර කාලෝ යන නාමය ප්‍රසිද්ධ වීමට ඊට වඩා බොහෝ හේතු තිබුණේය. ඔහු ප්‍රකට ගීත රචකයකි. සාහිත්‍යවේදියකි. කලාව, සාහිත්‍ය අරබයා ප්‍රකට දේශකයකි. සමාජ ක්‍රියාකාරිකයකි. හේතුවාදියකු වූ ඔහු ලංකා සමසමාජ පක්ෂයේ කැපී පෙනුණු චරිතයකි.
ආගමික විශ්වාසය අනුව මිනිසුන් ගිනි පෑගීම, මිථ්‍යාවක් බව ඔප්පු කරන්නට ඔහු ද පේ නොවී ගිනි පෑගුවේය. යක්ෂ, භූත, ප්‍රේත, කොඩිවින, අණවින ඔප්පු කරන්නේ නම් රුපියල් ලක්ෂ දහයක් දෙන බවට ඔට්ටුවක් ඇල්ලුවේය. එහෙත් ඔහුගේ අභියෝගය පිළිගන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

දැන් දැන් සෑම මංගල උත්සවයකදීම මනාල යුවළ පිටත් වෙද්දී ගැයෙන ‘රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ’’ යන හැඟුම්බර ගීතය ඇතුළු මතකයේ රැඳෙන ගීත රැසක රචකයා වූයේ ඔහුය. ප්‍රකට දේශකයකු ද වූ ඔහු කොළඹ පොත් එළිදක්වන උත්සවවලට කාට කාටත් නැතිවම බැරි චරිතයක් විය. හාස්‍ය මුසු නිවුණු ස්වරයෙන් කරන ඔහුගේ දේශන අසන්නට බොහෝ දෙනෙක් ප්‍රිය කළෝය.

සමසමාජ පක්ෂයේ ප්‍රකට ක්‍රියාකාරිකයකු වූ ඔහු සිය බෑනා වූ විජය කුමාරතුංග මහජන පක්ෂය පිහිටු වූ පසු එම පක්ෂයට උපකාර කළේ ය. බොහෝ තැන්වල නම කියැවුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවසන් වරට රටේ ප්‍රකට වූයේ ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති පුටුවට පත්වීමෙන් පසු සයිටම් සරසවියට

එරෙහිව ගෙන ගිය අරගලය නිසාය. දෙදහස් දහහතේ ඔහු වෛද්‍ය සභාවේ සභාපති පුටුවට සමුදුන් මොහොතේ ඔහුගේ ගෝලයෝ තම ගුරුවරයා වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් සූදානම් කළෝය. නමුත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා උත්සවයට අකැමැති වීම නිසා අතහැර දමන ලදි.

වෛද්‍ය සභා සභාපති ධුරයට සමු දී නිවසට ගිය කාලෝ ෆොන්සේකා පසුගිය දිනක රෝගාතුර විය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඉල්ලා සිටියේ තමා නිවසට රැගෙන යන ලෙසය.

සිය බිරියත්, දුවද, පුතාද වෛද්‍ය චන්දන අතපත්තුද තමන් ළඟට කැඳවූ කාලෝ ෆොන්සේකා තම අවසන් කැමැත්ත ප්‍රකාශයට පත් කළේ ය. තම අවසන් කැමැත්තට බිරිය අකැමැති වනු ඇති බව කී මහාචාර්යවරයා, තමා මියගිය පසුව අවමංගල්‍ය උත්සවයක් නොපවත්වා රතු ඇඳුමක් අන්දා හැකි ඉක්මනින් මෘත දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලෙස කීවේය. හේතුවාදියකු වූ නිසාම ඔහුගේ අවසන් ඉල්ලීම වී තිබුණේ විප්ලවවාදියකු ලෙස රතු ඇඳුමෙන් සැරසී අවසන් ගමන් යන්නටය. එම ඉල්ලීම අනුව මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය ඊයේ (02 දා) සවස්වරුවේම වෛද්‍ය පීඨයට භාරදෙනු ලැබීය.

(වෛද්‍ය චන්දන අතපත්තු ලියා තැබූ සටහනකි)
පෙර පළකිරීම්
————
මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවසන් කටයුතු පැය 8 න් අවසන් (photos)
මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *