Sep 16

දෙමටගොඩ නිවසේ පිපිරීමට හේතුව ගෑස් සිලින්ඩරයක් කාන්දු වීම බව හෙළි වෙයි – කාන්තාවන් දෙදෙනෙකුට බරපතලයි – Video

හුඟක් දුරට හිතන්නේ ගෑස් එකෙන් වෙන්න ඇත්තේ…
ගෑස් හැමතැනම ව්‍යාප්ත වෙලා නේ තියෙන්නේ, එකපාරට…
 
ගෑස් කාන්දුවක් හේතුවෙන් දෙමටගොඩ මහවෙල පටුමගේ නිවසක අද පෙරවරුවේ පිපිරීමක් සිදු වුණා.
 
පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
 
මෙම පිපිරීම සිදුවුණේ දෙමටගොඩ මහවෙල මාවත සමන්තවත්තේ කුඩා දෙමහල් නිවසකයි.

පෙරවරු 8.45ට පමණ මෙම පිපිරීම සිදු ව තිබුණා.
 
පිපිරීම වාර්තා වූ වහාම බෝම්බ නිශ්ක්‍රීය අංශ, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුදහමුදා සහ නාවික හමුදා භට කණ්ඩායම් එහි කැඳවනු ලැබුවා.
 
මූලික විමර්ශන වලදී අනාවරණය වූයේ ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් සිදු වන අතර තුර ගිනි දැල්වීම පිපිරීමට හේතුව බවයි.
 
පිපිරීම සිදු වූ නිවස මුලුමනින්ම විනාශ වූ අතර අසල්වැසි නිවසකට ද දැඩි හානි සිදුව තිබුණා.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනක් ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.
 
තුවාල ලැබූ 64 හැවිරිදි සුන්දරම් කාලාංචියම් එම නිවසේ හිමිකාරියයි.
 
සිද්ධියෙන් තුවාල ලැබූ 60 හැවිරිදි මේරි මාග්‍රට් නිවසේ හිමිකාරියගේ හිතවතියක්.
 
ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසුවේ කාන්තාවන් දෙදෙනාගේ සිරුරු සියයට 60 කට වැඩි ප්‍රමාණයක් පිලිස්සී ඇති බවයි.
 
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා එහි කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.
 
ස්ථානීය විමර්ශන සඳහා පොලිස් නිල සුනඛ අංශයේ සහයද ලබා ගැණුනා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *