Sep 27

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපෑවා, මමත් ගැහැණියක් ඒ තුළ නිරුවතත් තිබෙන්නට පුළුවන්..” – ගයනා සුදර්ශනී

ගණිකාවගේ චරිතය නිරූපණය කරද්දී චරිතය තුළ ජීවත් වෙන්න ඕන..”

“නමුත් මම අද ඒ ගැන කනගාටුවට පත් වන්නේ නැහැ..”

ගයනා සුදර්ශනී… චරිතාංග රංගන ශිල්පිණියක ලෙස දක්ෂතා විද්‍යමාන කරමින් වේදිකාවේ පුංචි තිරයේ සහ සිනමාවේ විවිධ වූ චරිතයනට ජීවය මුසු කළ ඇය, මේ ත්‍රිත්වයේදීම නිරූපිත චරිත නිසාවෙන් සමාජයේ කතා බහටත් විචාරකයන්ගේ පැසසුමටත් නතු වූ රංගන ශිල්පිණියක වූවා. මේ ඇය ගැනයි.

‘විජයබා කොල්ලය’ සිනමා සිතුවමේ රංගනයට අවස්ථාව උදාවීම ඔබේ රංගන දිවියේ සිහිනයක් සැබෑ වූ අවස්ථාවක් යැයි පැවසුවා…?
සත්තකින්ම ඔව්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි සිනමාවේ ප්‍රවීණතමයකුගේ නිර්මාණයක් වෙනුවෙන් දායක වීමට ලැබීම මා ලද වාසනාවක්. සිනමාවේ මා ප්‍රිය කරන, ගරු කරන, සුනිල් ආරියරත්නයන් සහ වසන්ත ඔබේසේකරයන් වැනි සිනමාවේදීන් යටතේ නිර්මාණයකට දායක වීමට මා තුළ සිහිනයක් පැවතියා. අද මා ඒ සිහින දෙකම සැබෑ කර ගත් රංගන ශිල්පිණියක්. මේ දිනවල සාර්ථකව තිරගතවන ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ ‘දේවතී’ කියන සාස්තරකාරියගේ චරිතය චිත්‍රපටය පුරා දිව යන්නක්. මෙය මා මෙතෙක් නිරූපිත චරිත අතුරින් වෙනස්ම චරිතයක් නිසා එය මගේ කලා දිවියට අලූත් ආලෝකයක් එකතු කළා කීවොත් නිවැරදියි. මේ දිනවල ‘දේවතී’ හරිම ජනප්‍රියයි. ඒක ලොකු සතුටක්. ඒත් මට ඊටත් වැඩිය සතුටක් තියෙන්නේ මේ චරිතයට මා කළ සාධාරණය පිළිබඳව අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නයන් සෑහීමකට පත්ව සිටීම. ඉතිං… මගේ චරිතය ගැන මීට වඩා යමක් කීවොත් එය චිත්‍රපටය නැරඹීමේ අපේක්ෂාවෙන් පසුවන මගේ ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක් කියලයි මා හිතන්නේ.

සිනමාවේදී මෙතෙක් කළ කී දෑ ප්‍රමාණවත් නෑ කියන මතයේ නේද ඔබ සිටින්නේ…?
ඔව්. මම චිත්‍රපට 15 ක විතර රඟපෑවා. නමුත් මගේ ප්‍රවීණත්වය සහ දක්ෂතාව අනුව හැකියාවන් පෙන්වන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ අතින් මම අන්ලකී.

ඒ වුණාට ඔබ සම්භාව්‍ය සහ වැඩිහිටියන්ට පමණයි, ලේබලය යටතේ තිරගතවූ චිත්‍රපට රඟපෑම නිසා කතා බහට සහ විචාරයට නතු වූ රංගන ශිල්පිනියක වුණා…?
ඇත්ත. මං සම්භාව්‍ය සහ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපෑවා. නමුත් කතා බහට ලක්වන ප්‍රධාන භූමිකාවට ජීවය දීමට අවස්ථාව ලැබුවේ නැහැ. වසන්න ඔබේසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න, එච්.ඞී. ප්‍රේමරත්න, චන්ද්‍රරත්න මාපිටිගම සහ සුදත් රෝහණ වැනි සම්භාව්‍ය ප්‍රවීණය අධ්‍යක්ෂවරුන් යටතේ සම්භාව්‍ය චිත්‍රපට කීපයක රඟපෑවා. මේවායේදී මා විසින් නිරූපිත චරිත කතා තේමාවට අදාළයි. ඒ තුළ නිරුවතත් තිබෙන්නට පුළුවන්. නමුත් සමහරු මේවා කසිකබල් සෙක්ස් චිත්‍රපට කියලා අර්ථ දක්වනවා. ඒ වුණාට අපි චරිතය සාර්ථකව කළොත් තමයි ඒ ගැන කතා කිරීමට යමක් ඉතිරි වෙන්නේ. නමුත් මෙතනදී අපි ඉදිරියට යන්න නම් නිවැරදිව මාර්ගය තෝරා ගත යුතුයි. සමහර නිර්මාණකරුවන් අඩු මුදලකින් චිත්‍රපටය කරලා ඒවා සම්භාව්‍ය ගණයේ චිත්‍රපට කියලා සෙක්ස් ටිකකුත් දමලා ජරා කතා හදලා අන්තර්ජාතිකව සම්මාන ලබන්න උත්සාහ ගන්නවා. මෙවායේ රඟපාන ශිල්පීන්ට එක එක ලේබල් වැදෙනවා. හැබැයි ඒ රඟපාන අයත් එහෙන් මෙහෙන් ඇහිඳ ගත් අය. ඒ අය වෙන ඕනෑම ජරාවක් වෙනුවෙන් පෙනී සිටීමටත් සූදානම්. නමුත් හොඳ අධ්‍යක්ෂවරුන් මෙවැනි දේට පෙළඹෙන්නේ නැහැ. ඔවුන් දක්ෂතාව, ප්‍රවීණත්වය සහ හැකියාව බලනවා. ඒ වගේ

නිර්මාණවේදීන්ගේ නිර්මාණ දිහා කවුරුත් වැරදි ඇහෙන් බලන්නේ නැහැ. මා කළ සම්භාව්‍ය චරිත ගැන එදා බොහෝ විචාර තිබුණා. ගණිකාවගේ චරිතය නිරූපණය කරන්නේ නම් ඒ විදිහට චරිතය තුළ ජීවත් විය යුතුයි. ඒක මල් යහනාවක් වටා දිව යන චරිතයක් නෙවෙයිනේ. ‘සළුපට අහසට’ සහ ‘මමත් ගැහැණියක්’ චිත්‍රපටවලදී මා නිරූපණය කළේ ඒ චරිත. මම හිතනවා මේ චරිත වෙනුවෙන් මා කළ සාධාරණය පිළිගත් නිසා තමයි එදා සමාජය මා පිළිබඳව කතා බහ කළෙත් යම් යම් විචාර ඉදිරිපත් වුණෙත් කියලා.

රංගනය ඇගයීම වෙනුවෙන් පුද දෙනු ලබන සම්මාන පිළිබඳව ඔබේ සිතේ සතුටක් නැති බවක් මේ කතා බහේදී කියවුණා…?
මම සම්මාන උළෙලයන් පවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එහෙම වෙන්න හේතු කාරණා කලකිරීම් බොහොමයක් තිබෙනවා. අපේ දක්ෂතා පෙනී පෙනී ඇගයීමට ලක් නොවීම පුදුම සහගතයි. අද සම්මාන උත්සවයන්ට ගොඩක්ම යන්නේ සම්මාන තියන අය විතරමයි. සම්මාන ලැබිය හැකි නිරූපණයන් බොහොමයක් මා කර තිබුණත් ඒවා සම්මානිත නොවීම පිළිබඳව හුඟක් අය පුදුමයට පත්වුණා. නමුත් මම අද ඒ ගැන කනගාටුවට පත් වන්නේ නැහැ. මොකද මට වැඩිපුරම වටින ජනතා සම්මානය එදත් අදත් හෙටත් මට ලැබෙන නිසා.

උඩරට නර්තන ශිල්පිනියක ලෙසින් කලාව ඇරඹූ ඔබ අනතුරුව වේදිකාවට පිවිසියත් අද වේදිකාවේ දක්නට නොමැති චරිතයක් නේද…?
නැහැ. මම වේදිකාව අමතක කරලා නැහැ. එදා තරුණ සේවා සභාව හා එක්ව උඩරට නර්තන ශිල්පිනියක ලෙසින් තමයි, මම කලාව ආරම්භ කරන්නේ. ඊට පසුව අභිරූපණය පිළිබඳව හැදෑරීම් කරනවා. ඒ ප්‍රවීණ කලා ශිල්පී ජයන්තා රණවක මහතා යටතේ. ඒ කාලේදීම තමයි මම ‘ව්‍යාඝ්‍රා’ නම් වූ වේදිකා නාටකයේ ‘මායාවතී’ චරිතය කරමින් වේදිකාවට ගොඩ වෙන්නේ. ඊට පස්සේ මම වේදිකා නාට්‍ය 15ක විතර රඟපෑවා.

ඉදිරියේදී ඔබව දැකිය හැකි නිර්මාණ පිළිබඳව පැවසුවොත්…?
මම හොඳ චරිත නිරූපනයක යෙදුණු ටෙලි නාට්‍ය 5 ක් විකාශයට නියමිතව තිබෙනවා. ඒ වගේම චිත්‍රපට 3 කුත් ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා. මේ දනවල මා රංගන දායකත්වය සපයන ‘මොනරවිල’ චිත්‍රපටයේ රූප ගත කිරීම් සිදුවෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *