Dec 21

ජාත්‍යන්තරය දිනා ගැනීමට ඇවිත් රුසියාවෙන් ඇන ගැනීම

visheshanga3

ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවකු වන රුසියාව පසුගියදා අපේ තේ තහනමට ලක්‌ කිරීමට ගෙන ඇති තීරණය නිසා අපේ තේ අලෙවිය සම්බන්ධයෙන් මේ වනවිට දැවැන්ත අර්බුදයක්‌ මතුව තිබේ. මේ ගැන දැන් රට තුළ පුළුල් සංවාදයක්‌ ඇතිව තිබෙන අතර රජය උත්සාහ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භාවිතා කරමින් ශ්‍රීÊලංකාවට පනවා තිබෙන තේ තහනම කෙසේ හෝ කඩිනමින් ඉවත් කර ගැනීමටය. මේ රජයේ අය නිතරම කියන්නේ ඔවුන් ජාත්‍යන්තරය ජය ගෙන ඇති බවය. එය එසේ නම් මෙකී තේ තහනම වහාම ඉවත් කර ගැනීමට හැකිවනු ඇතැයි අපි අපේක්‌ෂා කරමු. වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ද කියා තිබුණේ රුසියානු ජනාධිපති පුටින් මහතා සමඟ අපේ ජනාධිපතිවරයා අතර තිබෙන පුද්ගලික සම්බන්ධය නිසා මේ තහංචිය ඉක්‌මනින්ම ඉවත් කරගත හැකි වන බවයි. එය එසේ වනු ඇතිද? මේ සම්බන්ධව රජය ගන්නා ක්‍රියාමාර්ග සහ රුසියාවේ ප්‍රතිචාර දෙස අපි බලා සිටිමු.

මේ තේ තහනමට තුඩු දුන්නේ පසුගියදා රුසියාවට අපනයනය කළ තේ තොගයක කෘමියෙක්‌ සිට හමු වීමයි. ට්‍රානොඩර්මා ග්‍රානේරියම් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ කෘමියා ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කළ තේ තොගයේ සිට හමුවීම නිසා ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වෙනත් වැවිලි නිෂ්පාදන මිලදී ගැනීමේ තහනමක්‌ පසුගිය සිකුරාදා රුසියාව විසින් ශ්‍රී ලංකාවට පනවා තිබේ. ඒ අවස්‌ථාවේ ශ්‍රී ලංකා තේ මණ්‌ඩලයේ නිලධාරීන් මාධ්‍යයට සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන තේ තොගවල මීට පෙර එවැනි කෘමි විශේෂයක්‌ සිටීමක්‌ ගැන වාර්තා වී නොමැති බවයි. එසේම ඒ අවස්‌ථාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයද මේ ගැන මාධ්‍යයට සඳහන් කර තිබුණේ එම කෘමියා හමු වූ තේ තොගය සහිත බහලුම මීට පෙර ධාන්‍ය ප්‍රවාහනය කිරීමට යොදා ගත් එකක්‌ බවත් එය ශ්‍රී ලංකාවට අයත් එකක්‌ නොවන බවත්ය. කෙසේ වෙතත් මේ කෘමියා තේවලට පමණක්‌ නොව වෙනත් වැවිලි නිෂ්පාදනවලටද අභියෝගයක්‌ එල්ල කර ඇත. මෙරට මුළු තේ අපනයනයෙන් සියයට 16 ක්‌aම රුසියාව මිලදී ගන්නා නිසා මෙය අපගේ තේ කර්මාන්තයට බරපතළ අනතුරකි. මෙවැනි හොඳම තේ අපනයන වෙළෙඳපොළක්‌ කෘමියෙක්‌ නිසා නිකරුණේ අහිමි වීම කනගාටුවට කරුණකි. ඒ නිසා මේ තත්ත්වය වහාම සමනය කර ගැනීම සඳහා රජය කඩිනම් පියවර ගැනීම ඉතාමත් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් දැන් රජය කටයුතු කරමින් සිටී. මේ මස සම්බන්ධයෙන් රජය දැනටමත් තාක්‌ෂණික කමිටුවක්‌ පත් කර ඇති අතර එම කමිටු නියෝජිතයන් මේ 24 දිනෙන් පසු රුසියාව බලා පිටත්ව යැමට නියමිත බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (20 දා) මෙම ලියුම්කරුට කීවේය. මෙය තාවකාලික තහනමක්‌ විය හැකිය. එහෙත් එහි ආර්ථික බලපෑම් දැඩිව දැනෙන නිසා මේ සඳහා අපගේ පැත්තෙන්ද හේතු සොයා බලා කඩිනම් පියවර ගැනීම වැදගත් වේ.

මේ කෘමියා සිටීම ගැන විවිධ කතා කියති. එම කෘමියා සිටියේ තේ තොගයේ නොව අදාළ තේ අපනයනය කළ බහලුමේ බවද කියති. අපේ රටේ මේ සම්බන්ධයෙන් නොයෙක්‌ දේ කියමින් අපට තාවකාලික ආශ්වාදයක්‌ ලබාගත හැකි නමුත් රජය විසින් මේ තේ තහනම රුසියාව විසින් පැනවීමට හේතු වූ සැබෑ හේතුව සොයා බලා ඊට පිළියම් යොදා ඒ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමඟ මේ මොහොතේ ක්‍රියා කළ යුතුව තිබේ. එය අත්‍යවශ්‍යම දෙයයි. දෙසැම්බර් 24 දිනෙන් පසු අපේ තාක්‌ෂණික නිලධාරීන් පිරිසක්‌ රුසියාව බලා පිටත්ව යන්නේ මේ සඳහාය.

මේ ඊනියා කෘමියා ගැන නොයෙකුත් කතා බස්‌ යන අතරම මේ රුසියානු තේ තහනමට බලපාන ලද තවත් හේතුවක්‌ ගැනද මේ දිනවල සංවාදයට බඳුන් වෙයි. එනම් ඇස්‌බැස්‌ටස්‌ නිපදවීම සඳහා රුසියාවෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීම නවතා දැමීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණයයි. මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ඇස්‌බැස්‌ටස්‌ තහනම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ වර්ෂÊ2024 දීය. එහෙත් අදාළ අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ තහනම වර්ෂ 2018Êසිටම ක්‍රියාත්මක වීමට නියමිත විය. ඇස්‌බැස්‌ටස්‌ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණයක්‌ ගත්තේ එය ශරීර සෞඛ්‍යයට සහ පරිසරයට අහිතකර නිසාය. කෙසේ වෙතත් ඊයේ (20 දා) මාධ්‍ය වාර්තා කර තිබුණේ ඇස්‌බැස්‌ටස්‌ තහනම තාවකාලිකව ඉවත් කිරීමට රජය තීරණය කළ බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (19 දා) උදේ පැවැති කැබිනට්‌ රැස්‌වීමේදී මේ තීරණය ගත් බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ ඇස්‌බැස්‌ටස්‌ තහනම සහ 2018 ජනවාරි 01 දින සිට ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ගෙන ඇති තීරණය ගැන මෙම කැබිනට්‌ රැස්‌වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර මේ තහනම තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්‌ ගත් බවද පැවසේ. මීට හේතුව ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් අතුරින් රුසියාව ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගැනීමයි. එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ ඇස්‌බැස්‌ටස්‌ තහනමට කුමක්‌ වනු ඇතිද යන්නයි. ඇස්‌බැස්‌ටස්‌ ඉවත් කිරීමට කුරුමිණියකුට හැකි වීද?

ගිය වර්ෂයේ (2016) අපගේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,309.7 ක්‌ විය. මින් තේ අපනයන ආදායම 2015 වසරට සාපෙක්‌ෂව ඇමරිකානු ඩොලර් මිලියන 1269 කි. අපගේ මුළු අපනයන ආදායමෙන් හතරෙන් එකක්‌ම තේ ඇතුළු කෘෂි කාර්මික අපනයනයගෙන් සමන්විත වේ. 2016 දී තේ අපනයන ආදායම සියයට 5.3 කින් අඩු වූ අතර එය 2009 වසරෙන් පසු තේ අපනයන ආදායමේ වාර්තා වූ අඩුම අගයයි. තේ නිෂ්පාදනය මෙන්ම ඉල්ලුම අඩු වීම හේතුවෙන් මුළු තේ අපනයන පරිමාව කිලෝග්‍රෑම් මිලියන 289 ක්‌ දක්‌වා සියයට 5.9 කින් පහළ ගියේය. 2016 වසරේ තේ නිෂ්පාදනය අඩු වීමට අයහපත් කාලගුණික තත්ත්වයන් මෙන්ම වතු අංශයේ පැවැති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගද හේතු වූ බව මහ බැංකු වාර්තාව (2017) සඳහන් කරයි. තේ සඳහා ඇති ඉල්ලුම අඩු වීමට ශ්‍රී ලංකාවේ තේ සඳහා ප්‍රධාන ගැනුම්කරුවන් වන මැදපෙරදිග රටවල් සහ රුසියාව වෙතින් පැවැති ඉල්ලුම අඩු විම මූලික වශයෙන් බලපා තිබේ. මෙවන් තත්ත්වයක්‌ තුළ රුසියාවේ තේ තහනම අපේ තේ කර්මාන්තය තවත් අසීරු තත්ත්වයකට පත් කරනු ඇත. ශ්‍රී ලංකාව පැත්තෙන් නොයෙකුත් සාකච්ඡා පවත්වා තිබුණත් තවමත් රුසියාව පැත්තෙන් මේ සඳහා විසඳුමක්‌ ලැබී නැත. ඇතැම් විට ලංකාවෙන් රුසියාව බලා පිටත්ව යැමට සිටින තාක්‌ෂණික නිලධාරි කණ්‌ඩායම මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා ගැනීමට සමත්වේද යන්න අපට දැන් බලා සිටීමට සිදු වේ. කවරක්‌ නමුත් අප තවමත් සාම්ප්‍රදායික අපනයන භාණ්‌ඩ කිහිපයක්‌ මත ඉහළ රැදියාවක්‌ තබාගෙන සිටීම අනතුරුදායකය. තවදුරටත් අපනයන භාණ්‌ඩ මෙන්ම අපනයන වෙළෙඳපොළද විවිධාංගීකරණයට ලක්‌ කළ යුතුමය. මේ රුසියා තේ අපනයන තහනමෙන් මේ පාඩම අප උගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්තදෙරට ජනාධිපතිවරුන් අතර සම්බන්ධය නිසා තේ තහනම ඉක්‌මනින් ඉවත් කර ගත හැකියි – වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකගිය සිකුරාදා රුසියානු ආණ්‌ඩුව අපේ කෘෂිකර්ම නිෂ්පාදන සම්බන්ධයෙන් තහනමක්‌ දියත් කරලා තිබුණා. ඒ මොහොතේම මම ජනාධිපතිතුමා හා අගමැතිතුමාව දැනුවත් කළා. අද දින අපි තීරණයක්‌ ගත්තා අපේ උපරිම ශක්‌තිය යොදවලා අපේ උපරිම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් පාවිච්චි කරලා හැකි ඉක්‌මනින් මේ තිබෙන තහනම ඉවත් කරන්න. දැනට අපගේ රුසියාවේ සිටින තානාපතිතුමා හා රුසියාවේ මෙහෙ සිටින තානාපතිතුමා සමඟ අපි සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ බදාදා හෝ බ්‍රහස්‌පතින්දා අපගේ තාක්‍ෂණික කණ්‌ඩායමක්‌ රුසියාවට යවන්න. මේ තාක්‍ෂණික කණ්‌ඩායමේ බලාපොරොත්තුව තමයි ඒ අවශ්‍ය ගුණාත්මක භාවය සනාථ කරන්නත් අපගේ යම්කිසි අඩුපාඩුකම් තිබෙනවා නම් එම අඩුපාඩුකම් අඩුකර ගැනීමත් ඉන් අපි බලාපොරොත්තු වෙන්නේ. එම නිසා විශේෂයෙන්ම රුසියානු රජය අපට හිතවත් රජයක්‌. අපගේ තිබෙන ද්විපාර්ශ්වික සබඳතා ඉතාමත් ශක්‌තිමත්. ඒ වගේම ජනාධිපති පුටීන් හා අපේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතර පුද්ගලික සම්බන්ධතාවක්‌ තියෙනවා. ඒ නිසා අපි හිතනවා ඉතාමත් ඉක්‌මනින් මෙම තහංචිය අපිට ඉවත් කරන්න පුළුවන් වෙයි කියලා. එම නිසා ඒ රුසියාවෙන් ගත්ත තීරණය නොයෙකුත් හේතූන් මත ගන්න ඇති කියලා අපි හිතනවා. නමුත් අපගේ පැත්තෙන් අපි රුසියාවට ඒත්තු ගන්වන්න බලාපොරොත්තු වෙනවා. මෙම තහනමින් අපගේ තේ ආර්ථිකයට විශාල හානියක්‌ වෙනවා කියලා. විශේෂයෙන් දකුණේ සිටින කුඩා තේ වතු හිමියන් සියයට 73 ක්‌ පමණ අපිට තේ නිෂ්පාදනය ලබා දෙනවා කිසියම් අන්දමකින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය අඩු වෙන්නත් අපගේ තේ මිල පහළ වැටෙන්නටත් යන නිසා අපි ඒ පිළිබඳව වගබලා ගත යුතුයි. අපි හිතනවා තේ මිල එතරම් අඩුවීමක්‌ නොවෙයි කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්න මේ තහංචිය ඉවත් කරන්න. එම නිසා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා අනෙකුත් සම්බන්ධ ආයතන ඒ වගේම වෙළෙඳ අමාත්‍යාංශය, ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ කාර්යාලයත් ඒකාබද්ධව මෙම තත්ත්වයට මූණ දීමට කටයුතු කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. අපි හිතන විදිහට අපි ඔවුන්ට ලිතව යවලා තියෙනවා නිදහසට කාරණා අපිට එවන්න කියලා. ඒ ගැන ඔවුන්ගේ අදහස්‌ මේ කෘමියා කෘමියෙක්‌වත් නොවෙයි එය නොවෙයි එය ලාවා එකක්‌ කියලා ඔවුන් කියලා තියෙන්නේ. කෘමියා ඉඳලා තිබෙන්නේ කන්ටේනර් එකේ. ඒ නිසා අපට තවම දත්ත ලැබිලා නෑ කෘමියා තේ එකේ ඇතුළේ හිටියද නැද්ද කියලා. තේ එක ඇතුළේ හිටියේ නැත්නම් දැඩි ලෙස ක්‍රියා කිරීම අසාධාරණයි. ඉතිං අපි ඒකත් බලන්න අවශ්‍යයි. කෙසේ වෙතත් මේ කෘමියා ඇතුල් වුණේ කොහොමද කියලා අපි විධිමත් පරීක්‍ෂණයක්‌ කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය තේ පර්යේෂණ ආයතනය හා තේ අපනයන සංගමයේ නිලධාරීන් සමඟ පසුගිය සඳුදා (18 දා) ශ්‍රී ලංකා තේ මණ්‌ඩලයේද පැවැති සාකච්ඡාවෙන් පසු වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා සිය අමාත්‍යාංශයට පැමිණි මාධ්‍යට මෙසේ ප්‍රකාශ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *