Sep 24

උසාවි නියෝග නොතකා මුහුදු තීරයේ වෙනුවට විහාර භූමියේම ආදාහනය කළ ගුරුකන්ද විහාරාධිපති හිමිගේ පලහිළව්ව

අපවත්වී වදාළ ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ ආදාහන කටයුතු විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබෙන ස්ථානයේ මුහුදු තීරයේ සිදුකරන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව යමින්
සංඝ සභාව විසින් විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඊයේ(23) විහාර භූමියේදී සිදුකළහ.

ඉකුත් සෙනසුරාදා අපවත්වී වදාළ ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය පිළිබඳ පූජෝත්සවය එම විහාර භූමියේ සිදුනොකරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් සිදුවන බවට පවසා නයාරු නීරාවි පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් සිදුකළ පැමිණිල්ලකට තීන්දුව ලබාදෙමින් මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් ආදාහන පූජෝත්සවය විහාර භූමියෙන් පිටත මුහුදු තීරයේ පවත්වන ලෙස නියෝග කරනු ලැබීය.

තීන්දුව ලබාදීමෙන් අනතුරුව සංවේගයට පත් භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව පන්සල වටා රොක්ව නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විහාර භූමියේ සිදුකරන ලෙසට ප්‍රකාශ කරන්නට විය.

ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ප්‍රමුඛ භික්ෂූන්

වහන්සේලා සංඝ සභාවේ තීරණය අනුව භික්ෂූ සාම්ප්‍රදායානුකූලව විහාරාධිපති හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු විහාර භූමියේ සිදුකළහ.

විහාරභූමියේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට එරෙහිව දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු දෙමළ ජනතාව විහාරය ඉදිරිපිටට පැමිණ තම විරෝධය පළකළ අතර එහිදී බෞද්ධ ජනතාව සහ දෙමළ ජනතාව අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැණින.

එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මකවූ පොලිසිය සහ කැරලි මර්දන කණ්ඩායම් අදාළ ස්ථානයට පැමිණ අතර අධිපීඩන ජල ප්‍රහාරක බවුසරද එම ස්ථානයට රැගෙනඒමට කටයුතු කළහ.

ඇතැම් දෙමළ හිතවාදීන් පිරිසක් පැමිණ සිටි භික්ෂූන් වහන්සේලාගේ මතය ගරු නොකරමින් කටයුතු කිරීමට උත්සාහ කළද පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කරනු ලැබීය. ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානයේ විශාල ලෙස පොලිස් කණ්ඩායම් ගෙන්වා ආරක්ෂාව දැඩිකොට තිබිණ.

පැමිණ සිටි භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා අවසන් කිරීමෙන් අනතුරුව ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ දේහය තැන්පත් කළ චිතකයට ගිනිදල්වනු ලැබීය.

ආදාහන කටයුතු සම්බන්ධයෙන් මුලතිව් ‍මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දෙමළ නීතිඥයන් එක් පසෙක සිටි අතර නීතිඥයන් සිව් දෙනෙකු පමණක් විහාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

විහාර පාර්ශ්වය වෙනුවෙන් නඩු විභාගයේදී අදහස් දැක්වු නීතිඥයන් සිංහල භාෂාවෙන් අදහස් දැක්වීමට විරුද්ධව දෙමළ නීතිඥයන් එහිදී ප්‍රකාශ කරනු ලැබුවේ උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව වන බැවින් සිංහල අදහස් දැක්වීම නොකරන ලෙසයි.

නඩුවේ විහාර පාර්ශ්ය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවැසුවේ ශ්‍රී ලංකාවේ සැමට පොදු නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව කටයුතු කිරීමට සියලු දෙනා බැඳී සිටින බවයි.

කෝවිල් පාර්ශ්වය පෙනී සිටි නීතිඥයන් පැවසුවේ ප්‍රාදේශීය සභා සුසාන භූමි ආඥා පනත අනුව මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව දේහය අදාහනය නොකළ යුතු බවයි.

නඩු කටයුත්ත උදෑසන 9.00 ට ආරම්භ වු අතර දෙපාර්ශ්වයේ නීතිඥයන් පැයක පමණ කාලයක් පළමු වාරයේ අදහස් දැක්වීම සිදුකළහ.

පළමු අදහස් දැක්වීමෙන් අනතුරුව

මහෙස්ත්‍රාත්වරයා විනාඩි 15 ක කාලයක් විවේකයක් ලබාදුන් අතර, අනතුරුව නඩු විභාගය දහවල් 12.30 දක්වා විවිධ අදහස් දැක්වීම් ඔස්සේ සිදුකෙරිණ. නීතිඥයන් අදහස් දැක්වීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාව මත දේහය මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට එපිට වෙරළ සීමාවේ මිහිදන් කරනු ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාළ නියෝගය විහාරස්ථානය වෙත රැගෙන යාමට පෙර සංඝ සභාව විසින් විහාරස්ථාන භූමියේම නාහිමියන්ගේ අවසන් කටයුතු කළ යුතු බවට තීරණය කොට විහාර භූමියේම දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරනු ලැබීය. අධිකරණ නියෝගයට විරුද්ධව දේහය විහාර භූමියේම ආදාහනය කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥයන් සේවයෙන් බැහැරව කටයුතු කළහ.

ආදාහන පූජෝත්සවයට එක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නාහිමියන් පැවසුවේ අවුරුදු 2500 ක බෞද්ධ උරුමය රැකගත් පිරිස තවත් අවුරුදු 2500ක් බෞද්ධ උරුමය රැක ගැනීමට කටයුතු කළ යුතු අතර, බෞද්ධ උරුමය රැක ගැනීමට නම් සිංහල ජාතිය සිය අභිමානය රැක ගත යුතු බවයි.

ඒ වෙනුවෙන් තමන් වහන්සේ ඇතුළු සංඝ සභාව නාහිමියන්ගේ දේහය විහාර භූමියේම ආදාහනය කිරීමට කටයුතු කළ බවද උන් වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.

රජයක් තියෙනව නම් මිනිස්සු මෙහෙම නීතිය අතට ගන්නේ නැහැ. එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක නොවීමේ විපාකය තමයි අපි මුලතිව්වල අත්විඳින්නේ. දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික බලාගෙන හැබැයි මේ ආදාහනය කරන්නේ පන්සල් භූමියේමයි.

මේ පන්සල හදපු කාලේ අපේ මේධාලංකාරකිත්ති හාමුදුරුවෝ මැදිහත් වෙලා මෙතැනින් යන එන අයට වඳින්න ගණදෙවි පිළිමයක් මෙතැනට ගෙනැල්ලා තියෙන්නේ. ඊට පස්සේ තමයි කෝවිලක් කියලා දායක සභාව හදාගත්තේ. මේක බෙදුම්වාදී දේශපාලනයේ උසිගැන්වීමක්. අපි රටවැසියන්ට, දෙමළ සහෝදරයන්ට කියනවා මේ උසිගැන්වීම්වලට අහු නොවී නීතියට ගරුකරලා සාමදානයෙන් ප්‍රශ්නය විසඳාගන්න කියලා මේ මුළු භූමියම බුද්ධ භූමියක්. අක්කර 93ක පුරාවිද්‍යා රක්ෂිතයක්. මේවා සංරක්ෂණය කිරීමට නොහැකි වීම ආණ්ඩුවල ප්‍රශ්නයක්. අවුරුදු 2500 කට කලින් මොන ආගම් එන්නත් කලින් මේ රට තිබුණා. මේ ඇතිවුණ තත්ත්වය ගැන යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *