Dec 27

නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය

King Teresa King

නෙරපූ රජ කෘතියේ මහාචාර්ය ඔබේසේකර ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳව පවතින පොදු පිළිගැනීම විචාරශීලීව විමර්ශනයට ලක්‌ කරයි. අප බොහෝ දෙනෙක්‌ දන්නා පරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ කෲර සහ අත්තනෝමතික පාලකයෙක්‌ ලෙස පොදුවේ පිළිගැනීමට ලක්‌ව ඇත. රජු පාවාදුන් කන්ද උඩරට රදළයන් බොහෝ දෙනෙක්‌ රජුගේ කෲරත්වයෙන් යන එන මං නැති තැනට තල්ලු වී ගොස්‌, නොඉවසිලිවන්ත බවින් යුත් රජෙක්‌ නෙරපා හැරීමට, බ්‍රිතාන්‍යයන්ට සහය දීමට බල කරන තැනට පත් වූ බව පෙනේ. කන්ද උඩරට අවසාන රජු ගැන අප දත් දේ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ බොහෝ ශාස්‌ත්‍රීය කෘති මෙන්ම සැබැවින්ම කන්ද උඩරට රාජධානියේ අවසාන දින කිහිපය ප්‍රධාන කොටම පදනම් වූයේ ජෝන් ඩොයිලිගේ දින පොතේ අර්ථකථන සහ උඩරට රාජධානියේ අවසන් දින පිළිබඳ වෙනත් යටත් විජිත විස්‌තර මතය.

එවැනි ආකාරයේ දැනුම විචාරශීලීව විමර්ශනය කරමින් මහාචාර්ය ඔබේසේකර වැදගත් ක්‍රමවේදී ප්‍රශ්නයක්‌ මතු කරයි: අප අතීතය පිළිබඳ දැන ගන්නේ කෙසේද? ඉතිහාසය ලියවෙන්නේ කෙසේද? ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ජනප්‍රිය ආඛ්‍යානවල අන්තර්ගත විසංගතාවන් සහ ප්‍රතිවිරෝධයන් පෙන්වා දෙන අතර ඉතිහාසය ලිවීමේදී යටත් විජිත මූලාශ්‍ර මත මූලික වශයෙන් විශ්වාසය තැබීමේ සීමාවන් භාරදූර ලෙස උද්දීපනය කර දක්‌වයි. ඔහු පෙන්වා දෙන්නේ අතීතය ගොඩනැංවීම සම්බන්ධයෙන් සුවිශේෂ මූලාශ්‍ර මත අධි විශ්වාසය තැබීමෙන්, මූලාශ්‍රයම සුවිශේෂ සමාජ සහ දේශපාලන සංදර්භයක්‌ තුළ වටහා ගැනීමේ අවශ්‍යතාව නොසලකා, සිදුවීම් සත්‍ය හා ඓතිහාසික ලෙස ඉදිරිපත් වන ආකාරයයි. මහාචාර්ය ඔබේසේකර ඩොයිලි තම විස්‌තර ලිවීමට පදනම් කරගත් තොරතුරු වල මූලාශ්‍ර මෙන්ම විවිධ වෙනත් මූලාශ්‍ර විමර්ශනය කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ කෲර, අත්තනෝමතික, ජනප්‍රිය නොවන පාලකයෙක්‌ය යන සුවිශේෂ ප්‍රතිරූපය නිමැවීමට යොදා ගත් මෙම මූලාශ්‍ර ප්‍රවේශමෙන් සළකා බැලිය යුතු බවට ඒත්තු ගන්වන සුළු තර්කයක්‌ ගෙනහැර දැක්‌වීමටය. එනම් මෙම මූලාශ්‍රම අපක්‌ෂපාතී නොවන අතර රජු පිළිබඳ මෙම ප්‍රතිරූපය ගොඩනැංවීමේ ලා නිසැකවම හවුල් වී ඇත. රජු පිළිබඳ මෙම සුවිශේෂ ප්‍රතිරූපය, වෙසෙසින්ම ප්‍රාදේශීය රදළයන් සහ ජනයා සමග ඔහුගේ සම්බන්ධතාවය පුළුල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතිය යුක්‌ති සහගත කරණයට දායක වූ ආකාරය ඔහු සාකච්ඡා කරයි. වෙනත් වචන වලින් පවසන්නේ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ජනප්‍රිය ආඛ්‍යාන, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම උදෙසා ඔවූහු හුදෙක්‌ ආක්‍රමණයක්‌ කර නීත්‍යානුකූල රජෙක්‌ නෙරපා හැරියාට වඩා කෲර අත්තනෝමතික පාලකයෙක්‌ යටතේ කන්ද උඩරට ජනයා අත් විඳි පීඩාවන්ට එරෙහිව එසේ කළෝය යන අදහස ගොඩනැංවීමට උපකාරී වේ.

එවිට මහාචාර්ය ඔබේසේකර ජනතාව අවසානයේ දී පිළිකෙව් කළ කෲර අත්තනෝමතික ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ මෙම පිළිගත් දෘෂ්ටිය සංකීර්ණ බවට පත් කරන වෙනත් ලියකියවිලි සාකච්ඡාවට ගනී. ඔහු මෙවැනි විවිධ මූලාශ්‍ර සලකා බලන්නේ කන්ද උඩරට රදළයන් අතරම වූ එදිරිවාදිකම් මෙන්ම කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට ඇහැලාගෙන සිටි බ්‍රිතාන්‍ය වෙරළබඩ පාලනය උද්ගත කළ කුමන්ත්‍රණ වල බලපෑම හමුවේ පවා ශ්‍රී වික්‍රම රාජසිංහ ශක්‌තිමත්, දක්‌ෂ මෙන්ම දූරදර්ශී නායකයෙක්‌ ලෙස ගත් විකල්ප දෘෂ්ටියක්‌ ගෙනහැර දැක්‌වීමටය. අනුකම්පා විරහිත බව, කෲරත්වය, රජු සම්බන්ධයෙන් සැණෙන් සිහියට නැගෙන රජු තම සතුරන්ට නියම කළ දඬුවම් (මෙම කෘතියෙහි සිහිපත් කරන ආකාරයට මහාචාර්ය ඔබේසේකර මේ පිළිබඳ විස්‌තර ප්‍රශ්න කරයි.) දේශෙද්‍රෝහීත්වය සම්බන්ධයෙන් එම යුගයේ පිළිගත් නීති හා සම්ප්‍රදායන්ට අනුව සිදුකර ඇත. මෙම ක්‍රම එවකට යුරෝපයේ මේ හා සමාන තත්වයන් හා සම්බන්ධයෙන් පැවති ආකාරයේ නීති හා සම්ප්‍රදායට වඩා වැඩියෙන් සාහසික නොවන බව අපට සිහිපත් කර දෙයි.ශ්‍රී වික්‍රම රාජසිංහ වඩාත් ප්‍රසිද්ධියට පත් වන ඇහැළේපොල පවුල සාහසික ලෙස මරණ දඬුවමට ලක්‌ කිරීම පිළිබඳව ඔබේසේකර සවිස්‌තරාත්මකව සාකච්ඡා කරයි. මෙම මරණ දඬුවම පිළිබඳ සවිස්‌තර ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ එවකට රටේ පවා නොසිටි බ්‍රිතාන්‍ය හමුදා සැරයන්වරයෙකු වූ ජෝන් ඩේවිගේ ලේඛන මතය. ඩේවි ශ්‍රී ලංකාවට පැමිණියේ 1816 දී වන අතර ඔහු විස්‌තර කරන සිදුවීම් සිදු වූයේ 1814 සිට 1815 දක්‌වාය. ඩේවි මෙම මරණ දඬුවම පිළිබඳ කතාන්තරය විස්‌තර කිරීමේදී විශ්වාසය තැබුවේ වෙනත් මූලාශ මතය.නමුත් මහාචාර්ය ඔබේසේකර පෙන්වා දෙන්නේ ඩේවි සඳහන් නොකරන වෙනත් විස්‌තර වල එනම් උග්‍ර දෙමළ විරෝධී සහ රාජසිංහ විවේචක වුවත්, ඇහැළේපොල වර්ණනාව සහ කිරල සංදේශය වැනි මෙම සිදුවීම් ගැන ඇති වෙසෙසින්ම සිංහල විස්‌තරවල ඇහැළේපොල පවුල මරණ දඬුවමට ලක්‌ කිරීම පිළිබඳ සඳහන් නොවන බවය. මෙහිදී වැදගත් වන දෙය නම් ජෝන් ඩේවි සපයන තොරතුරු වල සත්‍යතාව ඉතිහාසඥයන් සහ ශාස්‌ත්‍රඥයන් ප්‍රශ්න කිරීමකින් තොරව බාරගත් ආකාරයත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ පොදු පිළිගැනීමක්‌ බවට බවට පත්වීමත්ය. ශ්‍රී වික්‍රම රාජසිංහ සහ අවසාන කන්ද උඩරට රාජධානිය පිළිබඳ විවිධ විස්‌තර සළකා බලන මහාචාර්ය ඔබේසේකර මෙවැනි විවිධ පිටපත් යටත් විජිත දේශපාලන ව්‍යාපෘතීන්ගේ බලපෑමට ලක්‌ වූ තරම පෙන්වා දෙයි. නිදර්ශනයක්‌ ලෙස බ්‍රිතාන්‍ය විස්‌තර සැලකිල්ලක්‌ දැක්‌වූයේ නීත්‍යානුකූල ස්‌වෛරී රජෙක්‌ නෙරපීම සඳහාත්, විදෙස්‌ රාජධානියක බ්‍රිතාන්‍ය පාලනය ස්‌ථාපිත කිරීම සඳහාත් ආවරණයක්‌ ගෙන හැර දැක්‌වීම කෙරෙහිය. එම යුගයේ සිංහල විස්‌තරවලට බලපෑවේ රජු නෙරපීම ඉටු කර ගැනීමෙන් තම ස්‌වාර්ථය පැතූ කන්ද උඩරට විවිධ පවුල් සහ රදළ කණ්‌ඩායම්වලට තිබූ පක්‌ෂපාත කම මත පදනම්ව සිදුවූ දෙය පිළිබඳ පිටපත් ගෙන හැර දැක්‌වීමේ අවශ්‍යතාවයයි. කන්ද උඩරට රදළයන් රජු කෙරේ දැක්‌වූ විරෝධයට සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතියට දැක්‌වූ රහස්‌ සහයෝගයට බලපෑවේ බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ වෙරළබඩ පළාත් සහ උඩරට රාජධානිය අතර වූ වෙළඳ තහංචි සහ එදිරිවාදීකම් වල ප්‍රතිඵලයක්‌ වශයෙන් උඩරට රාජධානියට අහිමි වූ භාණ්‌ඩ ලබා ගැනීමේ සහ වෙළඳාමෙන් වාසි ලැබීමේ අභිරුචිය බව පෙන්වීමට මහාචාර්ය ඔබේසේකර සාක්‌ෂි සපයයි.

සිදුවීම් පිළිබඳ සවිස්‌තර පිටපත් වලින් සුවිශේෂ පර්යාවලෝකයන් පෙන්නුම් කිරීමට හැකිය යන අදහස අරුමයක්‌ නොවන බව නොකිවමනාය. ඒ කෙසේ වුවත් මේ නම් විකල්ප තතු වල සමයයි. විමතියට කරුණ නම් (මෙම කෘතිය ඒ සා වැදගත් වන්නේද ඒ නිසාය.) විචාරාත්මක සිහිනුවණකින් තොරව කොපමණ වතාවක්‌ ඉතිහාසයන් ලියනු ලැබ සම්ප්‍රේෂණය කරන්නේ ද, වර්තමානයේ ජනයා ප්‍රජාවන් සහ සිදුවීම් පිළිබඳ අපගේ අර්ථකථනවලට එය කොතරම් බල පාන්නේද යන්නයි. මහාචාර්ය ගණනාථ ඔබේසේකර සඳහන් කරන ආකාරයට යටත් විජිත මෙන්ම වෙනත් ශාස්‌ත්‍රඥයන් සහ ලේඛකයන්ගෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ ලැබු දෝෂ දර්ශනය නායක්‌කර්වරු, ඔවුන්ගේ දෙමළ පෙළපත (එයම සදොස්‌ය.) පිළිබඳ, පරදේශී නායක්‌කර්වරුන්ගේ වියවුල් පාලනයෙන් බිඳ දැමූ සිංහල පාලනයේ ඒකත්වය සුරැකි තෝතැන්න වන් සිංහල ජාතියේ කෲර ආක්‍රමණිකයන් සහ සතුරන් වූ දෙමළුන් පිළිබඳ පුළුල් ආඛ්‍යානයකටත්, යුක්‌ති සහගත රජෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග සහයෝගයෙන් කටයුතු කරන සහ බ්‍රිතාන්‍ය පාලනයේ ලේ හැලීම් සහ හිංසනය යටපත් කිරීමට තැත් කරන කන්ද උඩරට රදළයන්ගේ දෙපිටකාට්‌ටුකම සහ එමනිසාම ෙද්‍රෝහීත්වය සාපේක්‌ෂව අවිචාරවත් ලෙස පිළිගැනීමටත් පසුබිමක්‌ නිර්මාණය කළේය. අප ශ්‍රී වික්‍රම රාජසිංහගේ කෲරත්වය, ම්ලේච්ඡත්වය සහ වනචාරීත්වය සම්බන්ධයෙන් යටත් විජිත ලේඛකයන් සහ පරිපාලකයන්ගේ විස්‌තර ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගන්නා විට, අපි බ්‍රිතාන්‍ය බලය රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රචණ්‌ඩත්වය සුළු කොට තැකීමේ ප්‍රයත්නය ද බාර ගනිමු. නිදර්ශනයක්‌ වශයෙන්, 1818 කැරැල්ල හමුවේ බ්‍රිතාන්‍යන්ගේ කෲර ප්‍රතික්‍රියාව ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඊනියා අතිශයෝක්‌තිය තරම් බිහිසුණු ලෙස ඉතිහාසය තුළ සිහිපත් කෙරෙන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *