Nov 04

ඉහෙන් බහින රෝගයක් නැතැයි ගෙදර අය කියන දැල්පන්දු ශූරිය ලියුකෙමියාවෙන් මියගියේ කොහොමද?

දක්‍ෂ පන්දු විදින්නියක් වූ මෙලනි පැරදිණි. ඒ දැල් පන්දු තරගයකින් නොව ජීවිත තරගයෙනි. නොසිතූ මොහොතක වැළඳුණු රෝගයේදී මාරයා ඇයට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්නේය. රෝගාතුර වී කෙටි කාලයක් තුළදී මෙලනි අමා විජේසිංහ මෙලොව හැර ගියාය. මෙලෙනි මිය යන විට වයස අවුරුදු දහහතකි. ඇය ජීවත් වූ කෙටි කාලය තුළ දී
රටට වටිනා ක‍්‍රීඩිකාවක් බවට පත් වෙමින් අමරණීය මතකයන් ගොන්නක් ඉතිරි කරන්නීය.

කිරිඳිවැල, හංවැල්ල පාරේ පදිංචිව සිටි මෙලනිගේ පියා විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකි. ධම්මික නිශාන්ත වන ඔහු යුද හමුදා පැසි පන්දු කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂ ක‍්‍රීඩකයෙකි. ඇයගේ මව චන්‍ද්‍රිකා දමයන්තිය. මෙලනි උපන් දා සිට වෘත්තීය ජීවිතයට තිත තැබූ දමයන්ති කිරිකැටි දියණියට ආදරණීය මවක් වූවාය. මෙලනිට බාල සහෝදරයෙක් ද සිටී. ඔහු කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ හය වසර පන්තියේ ඉගෙනුම ලබයි. මෙලනි අධ්‍යාපන ජීවිතය ආරම්භ කරනු ලැබුවේ කිරිබත්ගොඩ විහාර මහාදේවී විද්‍යාලයෙනි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වූ ඇය කොළඹ විශාඛා මහා විද්‍යාලයට ඇතුළත් විය.

විශාඛාවට ඇතුළත් වී වසර දෙකක් පමණ ගත වන විට ඇය විවිධ ක‍්‍රීඩාවලට ඉදිරිපත් වූවාය. ඒ අතර පිහිනුම් ක‍්‍රීඩාවට විශේෂ දක්‍ෂතා පෙන්වූවාය. දැල් පන්දු ක‍්‍රීඩාවට සුවිශේෂී දක්‍ෂතා ඉදිරිපත් කළාය. පාසල් දැල්පන්දු පිටිය උඩු යටිකුරු කළ මෙලනි 2015 වර්ෂයේ පැවැති පහළොවෙන් පහළ ජාතික පාසල් ශුරතාව ජයග‍්‍රහණය කරවීමට තම කණ්ඩායමට දැවැන්ත ශක්තියක් විය. එමෙන්ම 16 න් පහළ මයිලෝ ක‍්‍රීඩා තරගාවලියේදී ද විශාඛාවට විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කරදීමට මෙලනි අමා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළාය. 2015 වර්ෂයේදීම ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 41 ක් වැනි ජාතික ක‍්‍රීඩා උත්සවයේදී දැල් පන්දු තරගාවලියෙන් ප‍්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ මෙලනි නියෝජනය කළ දැල් පන්දු කණ්ඩායමය. එම වර්ෂයේදීම බස්නාහිර පළාත් අන්තර් දිස්ත‍්‍රික් දැල් පන්දු තරගාවලියේදී ද තම කණ්ඩායමට ප‍්‍රථම ස්ථානය දිනා දීමට මෙලනි විශිෂ්ට කී‍්‍රඩා කෞශල්‍යයක් ඉදිරිපත් කළාය. පාසල් ක‍්‍රීඩිකාවක් ලෙස දැල් පන්දුවෙන් කළ වික‍්‍රමය අගයමින් 2016 වර්ෂයේදී පැවති පාසල් වර්ණ ප‍්‍රදානයේදී පාසල් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මෙලනි සම්මාන ලැබුවාය.

පාසල් ක‍්‍රීඩා පිටියේදී ඉදිරිපත් කළ විශිෂ්ට දක්‍ෂතා නිසා ළාබාල වයසේදීම ජාතික දැල් පන්දු කණ්ඩායම නියෝජනය කිරීමට මෙලනි වාසනාවන්ත විය. 2017 වර්ෂයේදී බොට්ස්වානාහි පැවැති ලෝක ශුරතා යොවුන් දැල් පන්දු තරගාවලිය නියෝජනය කරමින් ජාත්‍යන්තර දැල් පන්දු පිටියට පිවිසි මෙලනි අමා දක්‍ෂ පන්දු විදින්නියක් ලෙස පරාජය පෙනි පෙනී තිබූ තරග ජයග‍්‍රහණය කරවීමට සමත් වූවාය. දැල් පන්දු ක‍්‍රීඩාවට උපන් හපන්කම් ඇති මෙලනි ජාතික දැල් පන්දු කණ්ඩායම නියෝජනය කිරීමට පටන්ගෙන කෙටි කාලයකින් එහි උප නායිකාව බවට පත් වූවාය. මේ වසරේ ජපානයේදී පැවැති ලෝක දැල් පන්දු තරගාවලියේදී ළාබාලතම ක‍්‍රීඩිකාව ඇය වූවාය. එහෙත් මෙලනිගේ දක්‍ෂතා ළාබාල නොවිණි. ලෝක දැල් පන්දු පිටියේ නම් තබා තිබූ කිසිදු ක‍්‍රීඩිකාවකට නොදෙවෙනි වූ මෙලනි එම තරගාවලියේදී ශ‍්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට විශාල ශක්තියක් වූවාය. එමෙන්ම එම තරගාවලියේදී ඇය ආසියාවේ හොඳම පන්දු විදින්නිය ලෙස සම්මාන දිනාගත්තාය.

‘‘අපිට හිටියේ රටක් වටින කෙල්ලෙක්… ලෝක ශූරියක්… අවුරුදු දහයේ ඉඳලා දවස තිස්සේ ක‍්‍රීඩා පිට්ටනිවල දුවලා පැනලා තරග කළා. ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ. එහෙම ලෙඩ දුක් තිබුණා නම් අව්වේ දුවලා පැනලා සෙල්ලම් කරන්නේ කොහොමද මහත්තයො…’’ මෙලනිගේ මළගමට සහභාගි වූ අවස්ථාවේදී ඇයගේ මව හැඬු කඳුළින් අප ඉදිරියේ පැනයක් තැබුවාය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර ගියේ දැල් පන්දු ශූරියක් වූ මෙලනි අමා පිළිකා රෝගයට ගොදුරුව මිය ගිය බවය. එහෙත් මෙලනිගේ මවුපියන් ඒ කතාව පිළිනොගත්තේය. ඔවුන් කියා සිටියේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

‘‘මේ අවුරුද්දේ ජූලි මාසෙ දවසක අපේ දුව උරහිස රිදෙනවා කියලා බෙහෙත් ගත්තා. ඒ බෙහෙත් බීලා ඉවර වෙලා අගෝස්තු මාසෙ 01 වැනිදා දැල් පන්දු මයිලෝ තරගාවලියට සහභාගි වෙන්න කුරුණෑගල ගියා. මමත් දරුවා එක්ක කුරුණෑගල ගියා. ඒ තරගයක් අතරතුරදී තමයි දුව මුලින්ම අසනීප වුණේ. කෝට් එකෙන් එළියට ඇවිත් ‘අම්මේ මගේ ඇස් නිලංකාර වෙනවා… ඇඟට පණ නෑ කියලා…’ මට තුරුලූ වුණා. විශාඛා විද්‍යාලයේ වෛද්‍යවරයෙක් ගිහින් හිටියා. තවත් දෙමවුපියො ගොඩක් ගිහින් හිටියා. ඒ මොහොතේම පාසල් වෛද්‍යවරයා දුවව කුරුණෑගල පෞද්ගලික රෝහලකට අරගෙන ගිහින් සම්පූර්ණ ලේ පරීක්‍ෂාවක් කළා.

ඒ ලේ රිපෝට් පරීක්‍ෂා කරපු වෛද්‍යවරු කිව්වා ‘සුදු රුධිරානු වැඩි වෙලා, හිමොග්ලොබින් අඩු වෙලා, ප්ලේට්ලට් අසූවට අඩු වෙලා කියලා…’ ඒ පරීක්‍ෂණවලින් පෙන්නුම් කරලා තිබුණේ ලියුකේමියා තත්ත්වයක්…’’

‘‘ඒ මොහොතේම විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනියත් දැනගෙන එතුමියගේ පෞද්ගලික වාහනයෙ ඇවිත් දරුව කොළඹ ජාතික රෝහලට අරගෙන ආවා. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක්ම දුවව පරීක්‍ෂා කරලා බැලූවා. සියලූම වෛද්‍ය පරීක්‍ෂණ කළා. ලියුකේමියා රෝගී තත්ත්වයක් ගැන ඒ පරීක්‍ෂණවලින් වාර්තා වෙලා තිබුණේ නෑ. ඒ සියලූ පරීක්‍ෂණ වාර්තා අපි ළඟ තියෙනවා. සාමාන්‍යයෙන් ලියුකේමියා රෝගයක් තියෙන කෙනෙකුට දුවල පැනලා සෙල්ලම් කරන්නත් අමාරුයි. ඒ වගේම එහෙම රෝගී තත්ත්වයක් ලේ පරීක්‍ෂණවලදී චෙක් වෙන්න ඕනෑ. එහෙම කිසිම රෝග ලක්‍ෂණයක් පෙන්නුම් කළේ නෑ. කොළඹ මහ රෝහලෙන් ප‍්‍රතිකාර ගන්නකොටත් දුව කිව්වේ ‘අම්මේ මට එහෙම ලෙඩක් නෑ…’ ඉස්පිරිතාලෙන් බෙහෙත් දෙනකොට සුදු රුධිරාණු අඩු වෙලා රෝගී තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. ‘ඉදිරියටත් පරීක්‍ෂණ කරගෙන යමු…’ කියලා ක්ලිනික් එකට ලියලා දුවගේ ටිකට් කැපුවා. දවස් දහහතකට පස්සේ අගෝස්තු 20 වැනිදා දුව ගෙදර ආවා. ඒත් මම සතියට දවස් දෙකක් දුව ක්ලිනික් එකට අරගෙන ගියා. ඒ ගිය හැම දවසකදීම ලේ පරීක්‍ෂණ කරලා බැලූවා. ඒ සියලූ රිපෝට් හොඳයි. ඒ හැම රිපෝට් එකක්ම අපි ළඟ තියෙනවා. ක්ලිනික් එකේදී පරීක්‍ෂා කරපු වෛද්‍යවරු කිව්වා මෙලනිට දැන් ඉස්කෝලෙ යන්නත් පුළුවන් කියලා…’’

‘‘වෛද්‍යවරුන්ගේ උපදෙස් පිට නැවත පාසල් යන්න සූදානම් වෙලා ඉන්නකොට සෙං ගෙඩි ඇවිත් වෛරස් උණක් හැදුණා. ප‍්‍රතිශක්තිකරණය අඩුවීමත් එක්ක නැවත සුදු රුධිරානු වැඩි වෙලා ප්ලේට්ලට් බැහැලා හොඳටම අමාරු වුණා. ආයෙමත් අපි මේ මාසේ 07 වැනිදා දුවව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. කොච්චර බෙහෙත් දුන්නත් හොඳ පැත්තට හැරුණේම නෑ. දවසින්, දවස සුදු රුධිරානු වැඩි වෙලා ප්ලේට්ලට් බැස්සා. ඒ අවස්ථාවේ කරපු වෛද්‍ය පරීක්‍ෂණවලින් ලියුකේමියා තත්ත්වයක් පෙන්නුම් කරනවා කියලා වෛද්‍යවරු කිව්වා. හොඳටම අමාරු වෙනකොට තමයි කොළඹ ජාතික රෝහලෙන් මහරගම අපේක්‍ෂා රෝහලට මාරු කළේ. මේ මාසේ 16 වැනිදා. එතකොට දුවගේ සුදු රුධිරාණු දෙලක්‍ෂ විසිඑක්දාහට වැඩි වෙලා තිබුණා. ඒත් දුව හොඳට කතා බහ කළා…’’

‘අනේ අම්මේ මෙතැනට එන්න වුණාට මට පිළිකාවක් නෑ… ඔයා බය නැතිව ඉන්න… මම මැරෙන්නෙ නෑ… මට හොඳ ශක්තියක් තියෙනවා…’ ඒ වචන ටික කීවෙත් හරිම ධෛර්යවන්තව. හාරලක්‍ෂ පනස්දාහට සුදු රුධිරාණු වැඩි වෙලා දරුවා හොඳින් හිටියා. දුවට කතා කරගන්න බැරිව ගියේ අපේක්‍ෂා රෝහලට ඇවිත් හතරවැනි දවසේ උදේ පාන්දර. ඒ මොහොතෙත් මම දුව ළඟ හිටියේ. දුව හුස්ම අදිනවා බලාගෙන ඉන්න බැරි තැන තමයි මම එළියට දිව්වේ. වෛද්‍යවරු, නර්ස්ලා වට වෙලා දුව බේරගන්න නොසෑහෙන්න වෙහෙසුණා. ඒත් මගේ දුවට පණ දෙන්න බැරි වුණා. මගේ දුවට මොනවා වුණාද කියලා තාම මට හිතාගන්නවත් බෑ…’’

‘‘මේ වගේ ජවසම්පන්න ළමයෙක් දැල් පන්දු තරඟ පිටියේම හිටියේ නෑ. කෝට් එකට බැස්සම තරගය පුරාම එක දිගට සෙල්ලම් කරනවා. පුදුම උනන්දුවක් තිබුණේ. දැල් පන්දු ජාතික කණ්ඩායමේ ඊළඟ කැප්ටන් වෙන්න හිටියේ මගේ දුව. දැන් අපි ජීවත් වෙන්නේ ඒ දක්‍ෂතා එක්ක…’’ දමයන්තිගේ වියළුණු දෑස් දිලිසෙන්නීය. ඒ දෑස්වල හඬන්නටත් තවත් කඳුළු නැත. රටක් වටින දුව අකාලයේ මිය ගිය පසු ඒ මවගේ හදවතේ දැවෙන වේදනාව කඳුළුවලින් නිවා දැමීමට නොහැකිය.

අනාගතය නමැති පහන් ටැඹ දීප්තිමත් ලෙස දැල් වී තිබියදී මෙලනි දුව ජීවන පිටියෙන් සමුගෙන යෑම මවට දරාගැනීමට අසීරුය. දමයන්තිට පමණක් නොව මුළු විශාඛාවටම ඒ දුක දරාගැනීමට නොහැකිය. රටකට එවැනි දක්‍ෂ ක‍්‍රීඩිකාවන් බිහි වන්නේ ද කලාතුරකිනි. එහෙත් කොතරම් දක්‍ෂ, ජවසම්පන්න, එඩිතර කෙනෙක් වුවද මාරයා අත වැනූ පසු අවනත විය යුතු බව අප තේරුම් ගත යුතුය.

සටහන – තරංග රත්නවීර (දිවයින)
ඡායාරූප කිරිඳිවැල – සෝමපාල තැලිගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *