Oct 07

මට පක්ෂයක් හොයාගන්න බැරිවුනා ජනපති තරගෙට නාවේ ඒකයි – නාගානන්ද

ජනපතිවරණයට තරග කරන්නට සූදානම්ව සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉරිදා දහවල් අවසන් මොහොත වනතුරු ඇප මුදල් තැන්පත් කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔහු ඉදිරි ජනපතිවරණයට තරග නොකරන බව දැන් තහවුරුවී තිබේ. තරගයට එන්නට බැරිව යාම ගැන ඔහු සමාජ මාධ්‍ය නාලිකාවක් අමතමින් පිළිතුරක් ලබාදී ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ
මැතිවරණ නීති අනුව ජනපතිවරණයට සුදුස්සෙකුවීමට වසර 5 ක්  ලියාපදිංචි දේශපාලන පක්ෂයක් පවත්වා යමින් ක්‍රියාකාරීව සිටීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම යන කොන්දේසි

දෙකම තමාට සපුරාගන්නට නොහැකිවූයෙන් තමා වෙනත් අයෙකුගේ ලියාපදිංචි පක්ෂයක් වෙනුවෙන් තරගකරුවෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානමින් සිටි බවත්

ඒ වෙනුවෙන් පක්ෂ කිහිපයක් හා කතාබහ කර අවසානයේ ‘අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු ‘ නමැති පක්ෂය සමග එකගතාවයකට පැමිණි බවත්ය. ඒ අනුව එම පක්ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත්වීමට සිතා තමා බ්‍රිතාන්‍ය පුරවැසිකම පිළිබද ප්‍රශ්නය පවා විසදාගත් නමුත්

එම පක්ෂය අවසන් මොහොතේ තමාට අවස්ථාව නොදී පැහැර හැරි බවත්ය. ‘අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු ‘ නමැති පක්ෂය හරහා තමා ඉදිරිපත්වන බව සැලවීමෙන් පසු ඔවුනට විවිධ බලපෑම් එල්ලවූ බව කියන නාගානන්ද මහතා අවසානයේ එම බාහිර බලවේග තමාගේ ගමන නැවැත්වීමට කටයුතු කර තිබෙන බව ඔහු කියා තිබේ.තවත් පක්ෂ ගැන සොයා බැලූවද විශාල මිල ගණන් ඉල්ලා සිටි බව කියන නාගානන්ද මහතා තමා කිසිසේත් මුදල් වියදම් කර පක්ෂ සමග එක්වීමට අපේක්ෂා නොකළ නිසා අවස්ථා මගහැරී ගිය බවද කියා සිටී.

මේ අතර නාගානන්ද කොඩිතුවක්කු ජනපතිවරණයට ඉදිරිපත්වන බව සදහන් කිරීමෙන් පසු ඔහුගේ අදහස් හා එකගවී විශාල පිරිසක් ඔහු වටා ඒකරාශී වූ අතර තම ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහු අරමුදල් රැස්කිරීමක්ද සිදු කරන ලද බව වාර්තාවේ.
ඒ අනුව විවිධ පිරිස් ඔහුගේ ගිණුම් වෙත මුදල් බැර කර තිබෙන නමුත් ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවීම නිසා එම මුදල් නැවත ඉල්ලා මුදල් දුන් අය ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ප්‍රතිචාර දක්වා ඇති අයුරුද හදුනාගන්නට ලැබේ. ඇතැම් පිරිස් ඔහු වංචාවක් කළ ‘සක්විත්තෙකු’ ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *