Sep 23

“දුවට මාස 6, 7 යනකං මම මගේ ඇඟ ගැන හිතන්නේ නැහැ, දරුවා ලැබුණට පස්සෙ ගොඩාක් ලස්සන වෙලාලූ..” – නිරෝෂා තලගල

” මට හිතෙනවා මම හිතපු දේ ඒ විදිහටම මට ලැබිලා තියෙනවා කියලා…”

“කෑම කන්නවත් වේලාවක් හොයා ගන්න බැරි තරමට අවිවේකී වේලා..”

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය ඇයටම ආවේනික රංගන කෞෂල්‍ය නිසාද රසිකයන්ගේ  ආදරය නොවඩුව ලැබී ඇත්තේ අපුරුවටය. අද ඇය පුංචි දියණියකගේ මවකි. කාර්ය බහුල ජිවිතයක් ගත කරන  නිරෝෂා තලගල ගැනයි මේ.

චූටි පැටියා නිසා ගොඩක් කාර්ය බහුල වෙලා නේද?
ඔව්. කෑම කන්නවත් වේලාවක් හොයා ගන්න බැරි තරමට අවිවේකී වේලා. ඒත් දුව නිසා මම ගොඩක් සතුටින් ඉන්නවා. එයාට දැන් මාස තුනක්.

අම්මා වගේම දුවත් ලස්සනද?
ම්……. දරුවා කුසට එන්න කලින්ම මම හිතපු දෙයක් තමයි. මට දරුවෙක් ලැබෙනවානම් කරුණාවන්ත හදවත් තියෙන සුන්දර ප්‍රියමනාප දියණියක් මට ඉස්සෙල්ලම ලැබෙන්න  ඕනේ කියලා. එයාට දැන් මාස තුනයි. ඒත් මට හිතෙනවා මම හිතපු දේ ඒ විදිහටම මට ලැබිලා තියෙනවා කියලා.

දරු ප්‍රසූතියෙන් පසුව රූපය ගැන හිතන්න පටන් ගත්තාද?
නැහැ. දුවට මාස 6 7 යනකං මම මගේ ඇඟ ගැන හිතන්නේ නැහැ. පූර්ණ කාලීනව කාලය යෙදවෙන්නේ ඇය එක්ක. හැබැයි මම පුදුමාකර සතුටින් ඉන්නේ දුව නිසා දරු ප්‍රසූතියෙන් පස්සේ මාව දැකපු ගොඩක් අය කියනවා දරුවා ලැබුණාට පස්සේ මම ගොඩක් ලස්සන වෙලා කියලා.

කෑම බීම ගැනීමේදී සැලකිලිමත්ද?
දැනට දරුවාට මව්කිරි දෙන නිසා කෑම පාලනයක් ගැන හිතන්න බැහැ. නමුත් ඊට පෙර නම් මට ගොඩක් ඇඟ ගැන සැළකිලිමත් වුණා. නර්තන ශිල්පිනියක් ලෙසත් රංගන ශිල්පිනියක් ලෙසත් මම මගේ ඇඟ ගැන නිරතුරුවම වෙහෙසුනා. සාමාන්‍යයෙන් මම දිනකට පැය දෙකක් විතර නර්තනයේ නිරත වෙනවා. දරුවා ලැබෙන්න කලින්. ඊට අමතරව ඇඟ ටිකක් මහත් වේගෙන එනකොට ව්‍යායාමයක් ලෙසට ඇවිදින්න පුරුදුවෙලා හිටියා.

දැනුත් එළවළු පළතුරු පළාවර්ග නිවුඩු හාලේ බත් ආදිය වැඩිපුර ගන්නවා. ඒක මට වගේම දරුවාට ඉතාම හොඳ නිසා. පිටි සහිත කෑම නම් මම ගොඩක් වේලාවට ගන්නේම නැති තරම්.

විවාහය දරුවන් ලැබීම කියන කඩඉම් පසුකළත් කාන්තාවක් අනිවාර්යෙන්ම ලස්සනට සිටීම වැදගත්ද?
ඔව්. ලස්සන කියන්නේ කාන්තාවකට ආභරණයක්. ඒ ආභරණය සුරක්ෂිතව රැක ගැනීම  අපේ යුතුකමක්. මම සැබෑවටම කාන්තාවකගේ ලස්සන කියා දකින්නේ පිරිසිදුකම. පිරිසිදුකම ඇති කාන්තාවකගෙන් ලස්සන ඉබේම ඉස්මතු වී පෙනෙනවා.

කාන්තාවකගේ ලස්සන කොහොමද මනින්නේ?
ම්….. මම කෙනෙක් මතු පිටින් දැකලා ලස්සන මනින්නේ නැහැ. කාන්තාවක් සැබෑවටම ලස්සන විය යුත්තේ ආධ්‍යාත්මිකව. තරහාව ඊර්ෂ්‍යාව කුහකකම වැනි සිතුවිලි අපිරිසිදු කරවන කරුණු වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්නම්. අපි ලස්සන වෙනවා.

අනිත් දේ තමයි මම හිතනවා කෙනෙක් හිතේ සතුටින් අප අදහන ආගමකට මුල් තැනදී ජීවත් වෙනවානම් අප මුහුණ ප්‍රියමනාප වෙනවා. පිං පාටක් ලැබෙනවා. ඒ වගේම කාගෙත් ආකර්ශනයට ලක්වෙනවා. ඒ තත්ත්වයට ළඟා විය යුත්තේ අපිමයි.

ඔබ මොනවද ඒ වෙනුවෙන් කරන්නේ?
මොනතරම් රාජකාරී බහුල උනත් තුනුරුවන් ආශිර්වාදයෙන් දවස ආරම්භ කරන්න මම පුරුදුවෙලා ඉන්නවා. ඒ වාගේම සතුට කියන දේ හැම මොහොතේම හිතේ රදවා ගන්නත් උත්සහ කරනවා.

ලස්සන රැක ගන්න මොනවාද කරන්නේ?
මා නියැළෙන කෙෂේත්‍ර දෙකට අනුව සුන්දර පෙනුමක් පවත්වා ගැණීම අනිවාර්යයි. නමුත් මම සැලොන් වලට ගිහින් ට්‍රීට්මන්ට් ගන්න පුරුදු වෙලා ඉන්නේ හරිම අඩුවෙන් ඊට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මම රූපලාවන්‍ය ඉගෙන ගත්ත කෙනෙක් හා රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන ගිය රූපලාවන්‍ය ශිල්පිනියක් වීම. මේ නිසා සම පිරිසිදු කර ගැනීමේ මුහුණ සඳහා සත්කාර හිසට සම්බාහන හැම දේම වගේ කර ගන්නේ මමයි. අයිබ්‍රෝස් පවා මට තනියම හදා ගන්න පුළුවනි.

කොහොමත් මම කැමතියි. ස්වාභාවික දේවල් වලට. ආලේපන පවා තෝරා ගැනීමේදී ස්වාභාවික නිෂ්පාදනයන්ට මුල් තැන දෙනවා.

නිවසේදී සිදුකරන සත්කාර කිහිපයක් දැන ගන්න කැමතියි?
එළිමහනේ රූගත කිරීම් වලින් පසුව ගෙදර ආපු ගමන්ම මම යෝගට් එකකට කහ කුඩු ටිකකුයි වෙනිවැල් ගැට ටිකකුයි දාලා කලවම් කරලා මුහුණෙයි ඇගෙයි ගාලා හෝදලා හරිනවා. ඒක හරිම ප්‍රතිපලදායක සත්කාරයක්. යෝගට් වෙනුවට මී කිරිත් ඉහත මිශ්‍රනයට යොදා ගන්න අවස්ථා තියෙනවා.

ඊට අමතරව කුරුලෑවක් වගේ ඇවිත් තියෙනවා නම් අර්තාපල් ගෙඩියක් ගේ‍්‍රට් කරලා යුෂ අරං ඒ කුරුලෑව තියෙන තැන ගානවා. ඒ සත්කාරයෙන් දවස් කිහිපයකින් කුරුලෑව නැති වෙලා. පැල්ලම පවා ඉවත් වෙනවා.

ම්…….. ඉඳහිට ශරීරය පිරිසිදු කිරීමට සීනි වලට මී පැණි බිංදු කිහිපයකුයි දෙහි බිංදු කීපයකුයි මිශ්‍ර කරලා ස්ක්‍රබ් කරනවා.

මේ දේවල් වලට අමතරව මම හැමදාම උදේට නැගිට්ටාම මද උනුසුම් වතුර වීදුරුවකට දෙහි බිංදු කිහිපයක් දාලා බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම දවසට ගොඩක් වතුරත් බොනවා. ?ට කෑම අඩුවෙන් ගැනීමෙන් ඇෙඟ් හැඩය පවත්වා ගැනීම පහසුවෙන්ම කළ හැකි දෙයක්.

ඔබ සුන්දරව ඉපදුනේ ඇයි කියලාද හිතන්නේ?
මම හිතන්නේ මගේ ලස්සන අම්මයි තාත්තයි නිසා මම ලස්සන වෙලා ඉපදෙන්න ඇති. ඒ වගේම පෙර කරපු පිනක් මේ ආත්මේ ලස්සන වෙලා ඉපදෙන්න බලපාන්න ඇති.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
චූටි කාලේ මම දැකපු ලස්සනම කාන්තාව වුනේ මගේ පාසලේ මට නර්තනය ඉගැන්වූ නර්තන ගුරුතුමිය ප්‍රදීපා ආරියවංශ මිස්. දිග කොණ්ඩයක් තියෙන ලස්සන හමක් තියෙන සුන්දර පෙනුමක් තිබුණා. ප්‍රදීපා මිස්ගේ ලස්සන දැකලාමයි මම 5 වසරේ නර්තනය කරන්න  ඕනේ කියලා තීරණය කළේ. ඊට පස්සේ ටික ටික ලොකු වෙනකොට මම කැමතිම කෙනා වුණේ ෙඓශ්වර්යා රායි.

විලාසිතා කිරීමේදී ඔබ සැලකිළිමත්ද?
ඔව්. කුමන විලාසිතා කළත් ඇඟ ආවරණය වෙච්ච ඇඳුම් වලට තමයි මම ගොඩක් කැමතිය. ඊට අමතරව ඉදිරියේදි විලාසිතා කිරීමේදී චූටි දූ ගැනත් හිතනවා.

දුවෙක් ඉන්න නිසා තව ලස්සනට ඉන්න  ඕනේ කියලා හිතුනාද?
අනේ ඔව්. අම්මයි දුවයි ලස්සනට ඉන්න  ඕනේ කියලා මට දැන් ඉඳලාම හිතනවා. එයා ලොකු වුණාම අපි දෙන්නාට ඒකට මෝස්තර කරන්න ලස්සනට අදින්න පුළුවන් කියලත් හිතනවා.

අසුන්තා එදිරිසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *