Dec 27

ජාත්‍යාලය සහ ජාතිවාදය

Patriotism and racism

“අද අපට අවශ්‍ය වෙන්නෙ මනුෂ්‍යයින් වශයෙන් දැඩිතර ජාත්‍යාලයක්‌ මිස බෙදී වෙන් වී ගහ මරා ගන්නා ජාතිවාදයක්‌ නොවෙයි.” ශබානා අස්‌මි බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක්‌. නමුත් ඇය අපේ හදවත්වල රැඳෙන බොහෝ නිළියන් වගේ ඇස්‌ කඩාගෙන යන අයස්‌කාන්ත රූප ශෝභාවකින් වත් කාමාශක්‌ත රංගන ලීලාවකින් වත් නොවෙයි. ශබානා කවදත් රඟපෑවෙ ඇයටම ආවේනික යථාර්ථවාදී ශෛලියකටයි.

මේ දහිරියමත් රංගන ශිල්පිනිය බොහෝ ආන්දෝලනයට තුඩු දුන් සිනමා නිර්මාණ ගණනාවකට දායක වුණා. විශේෂයෙන් දීපා මේතාගේ අධ්‍යක්‌ෂණයෙන් ස්‌ත්‍රී සමලිංගිකත්වය වැනි තිරයෙන් පිටුපස මාතෘකාවක්‌ සාකච්ඡා කළ ෆයර් සිනමාපටයේ ඇගේ විශිෂ්ට රංගන ප්‍රතිභාව විදහා පෑවා. නමුත් මේ චරිතය හන්දා ඇයට බොහෝ විවේචන සහ දුක්‌ ගැහැටවලට මුහුණ දෙන්නට සිදු වූ බව නොරහසක්‌. වරක්‌ සිනමා නිර්මාණයක්‌ සඳහාම ශබානා සිය අතිශය සුන්දර දිගු වරලස කපා බූ ගාන්නටත් ඉදිරිපත් වුණා. දෙස්‌ විදෙස්‌ පැසසුමට ලක්‌ වූ මේ 67 හැවිරිදි සම්මානනීය නිළිය පසුගියදා කලකට පසු ඇගේ නිර්භීත කටහඬ අවදි කෙරුවා.

“අතිශය සංකීර්ණ මානව විවිධත්වයක්‌ පවතින ඉන්දියාව වැනි රටක ජනතාව විශේෂයෙන් අද දවසේ වඩවාගත යුතු මහඟු ගුණාංගය ජාතික ආලය විනා, මිනිසුන් එකිනෙකා බෙදා වෙන් කිරීමට මුල් වන්නා වූ ජාතිවාදය නොවෙයි. සමාජිය කාරණාවලදී සැමවිටම මැදහත් සිතින් බුද්ධිමත්ව ක්‍රියා කිරිම කිසිසේත්ම ජාත්‍යාලයෙන් තොර වීමක්‌ හෝ ආත්මාර්ථකාමී වීමක්‌ නොවෙයි.” ශබානා, සිය සැමියා වන ප්‍රවීණ ගීත රචක ජාවඩ් අක්‌තාර් සමඟ එක්‌ව මේ අදහස්‌ පළ කෙරුවෙ නවදිල්ලියේ ටයිම්ස්‌ ලයිෙෆස්‌ට්‌ ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදීන් සමඟ කළ කණ්‌ඩායම් සාකච්ඡාවකදීයි. “අද අපේ රට පමණ ඉක්‌මවා ගිය ජාතිවාදයට ගොදුරු වෙලා.

ඒ මගින් ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිරූපය භයානක විදිහට පලුදු වෙලා. සංස්‌කෘතිය හා කලාව එකට බද්ධව යන කාරණා දෙකක්‌. මේවා සමග ගැටෙද්දී අප ඉතාම කල්පනාකාරි විය යුතුයි.” මේ සාකච්ඡාවට නිමිත්ත වුණේ සමස්‌ත ඉන්දියාවේම දැඩි ආන්දෝලනයකට පත්ව ඇති සංජය ලීලා බන්සාලිගේ පද්මාවතී සිනමා නිර්මාණයයි. අධ්‍යක්‌ෂක බන්සාලිටත්, ප්‍රධාන නිළිය වූ දීපිකා පදුකෝන්ටත් ආගමික හා ජාතික අන්තවාදීන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව දැන් ලෝකයම දන්නවා. පද්මාවතී, ඉතිහාසය විකෘති කරන බවත්, රාඡ්පුත්වරුන් ගැන වැරදි අර්ථකථන දෙන බවත් රාජස්‌ථානයේ රා-පුත් කණ්‌ඩායම් සහ සමහර දේශපාලන පක්‌ෂ චෝදනා කරනවා. “ඕනෑම කාරණයකදී විරුද්ධ මතවාද තියෙන්න පුළුවනි. විවේචනය හෝ විපක්‌ෂ වීම කාගෙත් මූලික අයිතිවාසිකමක්‌. නමුත් මෙයට ප්‍රචණ්‌ඩත්වය යොදාගත යුතු නැහැ.” ජාවඩ් සිය අදහස්‌ පැවසුවේ එහෙමයි. “බන්සාලි සහ දීපිකා හුදෙක්‌ සිනමා කර්මාන්තයේ යෙදෙන අප වැනිම වෘත්තිකයින් දෙපළක්‌ පමණයි. ඔවුන් කලාකරුවන් ලෙස යම් සමාජ මෙහෙවරක යෙදෙන්නන්. යම් ප්‍රශ්නයක්‌ ඇත්නම් හොඳින් කරුණු සොයා බලා පිළියම් යොදනවා මිසක බෙලි කැපීම හෝ පණ පිටින් පිළිස්‌සීම විසඳුම නොවෙයි.”ඉන්දියාවේ විරෝධතා පැනනැගුනු පළමු සහ එකම සිනමා නිර්මාණය පද්මාවතී නොවෙයි. ජාවඩ් සිය මතකය අතීතයට ගෙන ගියා. “දීපා මේතාගේ ෆයර් වාරණය කර ඇගේ ගෙට ගිනි තිබ්බා, දේශපාලන හේතු නිසා ඉන්දිරා ගාන්ධි රජය කිසා කුර්සි කා සිනමා පටයේ මුද්‍රිත පිටපත් සියල්ලම පිළිස්‌සුවා. නමුත් ඒවා ලෝකයාගෙන් වසන් කරන්නට හැකි වුණා ද, ඒවාට විරුද්ධව එදා කී දෙනෙක්‌ නැගී හිටියද?” “හුදු සිනමා නිර්මාණයක්‌ පමණක්‌ වූ පද්මාවතී ට විරුද්ධව මේ නගන හඬ, එදා ජාතියේ පියා මහත්මා ගාන්ධි ඝාතනය කෙරූ නතුරාම් ගොඩ්සේට විරුද්ධව නැගුනද? ගාන්ධිව මරා දැමූ හන්දා ඔහුව වර්ණනා කරන්ටත් පිරිසක්‌ ඉදිරිපත් වුණ බව අපට මතකයි.” “නිහඬව සිටීම යහපත් දෙයක්‌ වුණත්, අසාධාරණයේදී පමණ ඉක්‌මවා නිහඬව සිටීම සාපරාදී දෙයක්‌. මේ ඊනියා ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව අපි නැගී සිටින්නේ ඒ හන්දයි.” සබානා අස්‌මි අවසානයේ ප්‍රකාශ කෙරුවා.

ඉන්දියාවේ වගේම මේ අපේ ලංකාවෙත් බොහෝ විට විරෝධතා රැළි පැන නැගෙන්නෙ සැබෑවටම පීඩාවට පත් පොදු ජනතාව අතරින් නොවන බවත්, බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින අවස්‌ථාවාදී කණ්‌ඩායම් සහ සංවිධානවලත් දේශපාලන පක්‌ෂ වල උසිගැන්වීම මත බවත් දැන්වත් අප තේරුම් ගත යුතුයි. කිනම් හෝ අර්බුදකාරි අවස්‌ථාවක පමණ ඉක්‌මවා හැගුම්බර නොවීමටත්, මැදහත්ව සහ ඉවසිලිමත්ව කල්පනාවෙන් තීරණ ගත යුතු මංසන්ධියකට ලාංකිකයින් වන අපද අවතිර්ණ වී සිටින බව නිරන්තරයෙන් සිහි තබා ගත යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *