Jan 11

දේශපාලන හයිය පෙන්නා විදුහල්පතිනියක් දණ ගැස්සූ බව කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න – Video

politician-case

ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා සිසුවියක පාසලට ඇතුළත් කිරීමට බලපෑම් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට  ඉල්ලීමක් කර තිබෙනවා.

ඌව පළාතේ දේශපාලන බලවතකු විසින් සිදුකල බව කියන මෙම සිද්දිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ ඉල්ලා ඇත්තේ කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක්‌ යොමු කරමිනුයි.

එම දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක ඇතුළත් කරගැනීම සඳහා අදාළ සිසුවියගේ දෙමව්පියන් විසින් මෙම දේශපාලනඥයාගේ ලිපියක්‌ රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස්‌ ඇති අතර විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්‍ෂේප කරමින් තමන් දේශපාලනඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බවත් අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන්ගේ නියෝගවලට අනුව පමණක්‌ තමන් කටයුතු කරන බවත් පවසා තිබෙනවා.

මේ බව එම දෙමව්පියන් විසින් දේශපාලනඥයා වෙත දැන්වීමෙන් පසුව ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිටි තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස ඇයට දන්වා බලහත්කාරයෙන් වන්දවා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙළෙසන ශිෂ්ට සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක්‌ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ හැඟීම බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක්‌ ගන්නා මෙන් තමන් ඉල්ලා සිටින බවත් කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කොට ඇති ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා..

කෙසේ වෙතත්  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ ගුරුවරිය පවසන්නේ එවැනි කිසිඳු සිද්ධියක් සිදු නොවූ බවත් ඒ සම්බන්ධයෙන් පළවන සියළු වාර්තා අසත්‍ය බවත්ය .

එම ලිපිය පහතින් දැක්වෙයි.

2018/ 01/ 10
අධ්‍යාපන ලේකම්තුමා
අධ්‍යාපන අමාත්‍යංශය
ඉසුරුපාය

බත්තරමුල්ල

ලේකම්තුමනි,

බදුල්ල ප්‍රදේශයේ විදුහල්පතිනියක් දණගස්වා පාසැලට දරුවන් ඇතුළත් කිරීමට බලපෑම් කිරීම සම්බන්ධයෙනි

ඌව පළාත් ප්‍රමුඛ දේශපාලනඥයෙකු විසින් ඌව පලාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවසට කැඳවා දණ ගස්වා සිසුවියක් ඇතුළත් කිරීමට බලැපෑම් කළ බවට අප වෙත තොරතුරු වාර්තා වී ඇත. එම දමිළ බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුලත් කරගැනීම සඳහා අදාල සිසුවියගේ දෙමව්පියන් විසින් අදාළ දේශපාලනඥයාගේ ලිපියක් රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති අතර අදාල විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන් බැඳී සිටින්නේ දේශපාලඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට නොවන බවයි. අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝග වලට අනුව පමණක් තමන් කටයුතු කරන බව මෙම විදුහල් පතිනිය අදාල දෙමව්පියන්ට දන්වා තිබේ.

මේ බව එම දෙමව්පියන් විසින් එම දේශපාලනඥයා වෙත දැන්වීමෙන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිට තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස අදාල විදුහල්පතිනියට දන්වා බලහත්කාරයෙන් වන්දවා ගෙන තිබේ.

මෙම ක්‍රියාව රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසන ශිෂ්ඨ සම්පන්න නොවන, අමානුෂික ක්‍රියාවක් බව අපගේ හැඟීමයි. එබැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක් ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

මීට
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ
කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *