Dec 26

ඇත්ත ඝාතකයා පොල්පොට්‌ ද..?

Pollott the real assassin

සලූත් සා නොහොත් පොල්පොට්‌ ශ්‍රී ලංකාවාසීන්ට අමුතු චරිතයක්‌ නෙමෙයි. විශේෂයෙන්ම 1970-80 දශකයේ ඔහු ලංකාවේ ඉතා විශාල පිරිසක්‌ දැන සිටි චරිතයක්‌. ඔහුට ආදරය කළ දේශපාලනය පසුපස ගිය කිසියම් වාමාංශික ජන කණ්‌ඩායමකුත් ශ්‍රී ලංකාවේ වාසය කළා. නමුත් ඔහු වඩාත් ප්‍රචලිත වුණේ ඉතාමත්ම කෲර විදිහට තමන්ගේ ජනතාව ඝාතනය කළ, ප්‍රතිවිරුද්ධවාදීන් මර්දනය කළ, ඒ වගේම සාගතයෙන් තමන්ගේ ජනතාව වැනසී යාමට ඉඩදුන් පුද්ගලයෙක්‌ ලෙසයි. ඒ නිසා කිසියම් දේශපාලන ව්‍යාපාරයක්‌ එවැනි වියරු ඒකාධිපතිත්වයකින් හැසිරෙන විට එයට පොල්පොට්‌වාදීන් යයි ප්‍රකාශ කිරීමේ ප්‍රවණතාවයකුත් ලංකාවේ මෙන්ම ලෝකයේත් ඇති වුණා.

පොල්පොට්‌ හා සර්ත්සාර් 1975 අප්‍රේල් මාසයේ සිට 1979 ජනවාරි මාසය දක්‌වා කාම්බෝජයේ බලගතු පාලනයක්‌ ගෙන ගියා. ඔහුත් ඉයන්සාරිත් එක්‌ක කාම්බෝජය කෙමරූ- නමින් වාමාංශික සමාජවාදී, කොමියුනිස්‌ට්‌වාදී පාලනයක්‌ ගෙන ගියා. මේ පාලනය වකවානුවේ අඩුම තරමින් කාම්බෝජ වැසියන් 1/3 ක්‌ පමණ වසංගතවලින්, සාගතවලින් මිය ගිය බව වාර්තා වෙනවා. අවසානයේදී වියට්‌නාමය යුදමය වශයෙන් මැදිහත් වෙලා පොල්පොට්‌ පලවා හරිනු ලැබුවා. පොල්පොට්‌ තායිලන්තයට පලා ගියා. ඉන්පසු විවිධ සටන් ඔහු තායිලන්ත දේශසීමාවේ සිට කරගෙන ගියා. අවසානයේ චීනය වියට්‌නාමයට ප්‍රහාරයක්‌ එල්ල කළා එයට ප්‍රතිවිපායක්‌ හැටියට.

ඔය ආකාරයට ඇදෙමින්, පැද්දෙමින් ගොස්‌ 1993 දී කාම්බෝජයේ ඉරණම බේරා ගැනීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට භාර වුණා. කාම්බෝජයේ රාජවංශය නැවත පිහිටුවීමට නැවත උත්සාහයක්‌ ගත්තා. රාජ වංශය හා දේශපාලන පක්‌ෂ අතර බලය බෙදා ගැනීමේ උත්සාහයක්‌ ඇති වුණා. විවිධ උත්සාහවලින් පසුව දැන් කාම්බෝජය දශක දෙකකට අධික කාලයක්‌ කුන්සෙන්ගේ පාලනයට නතු වී තිබෙනවා. කෙසේ වෙතත් 1997 දී පොල්පොට්‌ මිය ගිය බව වාර්තා වෙනවා. ඔහු මිය ගියේ හෘදයාබාධයකින් කියා තමයි නිල නිවේදනවලින් කියවුණේ. නමුත් නොනිල නිවේදනවලින් කියවුණේ ඔහු තමන්ගේ බල ප්‍රදේශයේ ජීවත්වන අවස්‌ථාවේදී ඔහුව යුධ අධිකරණයක්‌ ඉදිරියට ගෙනයාමේ උත්සාහයක ඇමරිකා එක්‌සත් ජනපදය නියෑළුණු බවත්, ඔහුව යුධ අධිකරණයක්‌ වෙත ගෙනයාම වැළැක්‌වීම සඳහා ඔහුගෙන් යම් යම් කරුණු හෙළිවීම වැළැක්‌වීම සඳහා ඔහුගේ සහායකයින් හා ඔහුට ඇතැම් අවස්‌ථාවල උදව් කළ විදේශීය හස්‌තයින් ඔහුට වැඩි මාත්‍රාවක්‌ ඖෂධ ලබාදී ඔහුව ඝාතනය කළ බවට තමයි තවත් කතාවකින් කියෑවෙන්නේ. කෙසේ වෙතත් ඔහු මිය යන විට 80 හැවිරිදි මහල්ලෙක්‌.

පොල්පොට්‌ නොහොත් සලූත්සා කුමක්‌ද කාම්බෝජයට කළේ, පොල්පොට්‌ සහ සලූත්සා නමින් හඳුන්වන මේ පුද්ගලයා, කාම්බෝජයේ විවිධ ජන කණ්‌ඩායම් සිටිනවා. විශේෂයෙන්ම චීන සම්භවයකට උචිත ඔහුගේ සා නමින් හඳුන්වන්නෙත්, ඔහු සුදු පැහැති පුද්ගලයකු වීමයි. ගොවි පසුබිමකින් ඇවිල්ලා විශේෂයෙන්ම ඔහුගේ සොහොයුරිය, ඔහුගේ ඥාති සහෝදරිය විශේෂයෙන්ම රජ වාසලට තිබූ සම්බන්ධය නිසා ඒ හරහා ප්‍රංශයට ඔහු ඉගෙන ගැනීමට ගියා. ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගැනීමයි ඔහුගේ පසුබිම වුණේ. ඔහු දක්‌ෂ ඉංජිනේරු ශිෂ්‍යයෙක්‌ වුණේ නැතත් ඔහු දක්‌ෂ දේශපාලන ශිෂ්‍යයෙක්‌ වුණා. විශේෂයෙන්ම ප්‍රංශයේ පැරිස්‌ කොමියුනය නමින් 1870 දී ඇති වූ පැරිසියේ සමාජවාදී පාලනයත්, සමාජවාදී ක්‍රමයත් ඒ වගේම ගොඩනැඟී තිබූ සෝවියට්‌ සංගමයේ බලපෑමත්, ඉන්දු චීනයේ ව්‍යාප්ත වෙමින් ගිය වියට්‌කොන්වරුන්ගේ සටන සහ ඒ හා බැඳිච්ච සමාජවාදී අදහසුත් ඔහුට තදින් බලපෑවා. ඔහුත් හෝ චි මීන් ආදීනුත් සියලු දෙනාම පැරිසියේ ශිෂ්‍ය සටන්වලට, සමාජවාදී ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා පැරිස්‌ කොමියුනය වැනි සමාජවාදී කොමියුනයක්‌ තමන්ගේ රටවල පිහිටුවීමේ අධිෂ්ඨානයෙන් යුතුව මාක්‌ස්‌වාදී දේශපාලන පක්‌ෂ පිහිටුවා ගත් අය.

විශේෂයෙන්ම සලූත්සා වියට්‌නාම් කොමියුනිස්‌ට්‌ පක්‌ෂය සමග ආරම්භයේදී සබඳතා ඇති කර ගත්තා. 60 දශකයේදී ඔහු ප්‍රංශ හමුදාවලට එරෙහිව සටන් කිරීමටත්, ඒ වගේම ඒ වන ව්‍යාප්ත වෙමින් තිබූ ඇමරිකා එක්‌සත් ජනපද හමුදාව සමඟ සටන් කිරීටමත්, සිහනුක්‌ රජුගේ රාජ්‍යත්වයට එරෙහිව සටන් කොට ජනරජයක්‌ පිහිටුවීමට කටයුතු කිරීමත් සඳහා මේ සන්නද්ධ ක්‍රියාවලිය මුදා හැරියා. ඔහුගේ පාලනයට කීවේ කාම්බෝජයේ අතීත ජනතාවට තිබූ කෙමර් නමැති නමින්. ඔහුට කෙමරූ-, එහෙම නැත්නම් කෙමරත්තෝ නමැති අදහසින් තමයි ඔහු කිව්වේ. ඔහු තම බලප්‍රදේශය බවට පත් කර ගත්තේ කාම්බෝජයේ උතුරු දෙසින් පවතින අංකෝවට්‌ ප්‍රදේශයයි. මේ අංකෝ ඔහුගේ අගනගරය හැටියට ප්‍රකාශ කරගෙන මේ අගනගරයේ සිට රට පාලනය කිරීමේ ව්‍යාපාරයකුයි ඔහු ගෙන ගියේ. ඔහු 1975 අප්‍රේල් මාසයේ කාම්බෝජයේ නොම්පෙන් නගරය අත්පත් කරගෙන ඔහුගේ පාලනයක්‌ එහි පිහිටෙව්වා. රාජ්‍යත්වය අවසන් කොට කොමියුනිස්‌වාදීන්ගේ පාලනයක්‌ පිහිටෙව්වා. ඔහුට අවශ්‍ය වුණා සාමූහික කොමියුනිස්‌ට්‌ පාලනයක්‌ අත්හදා බලන්න. ඒ නිසා ඔහු නගරවලට වාසය කළ සියලුම දෙනාට ප්‍රකාශ කළා තමන්ගේ අත්වලින් මහන්සි වී තමන්ගේ හරිහම්බ කර ගැනීම් කර ගන්නා ලෙස. ඒ අනුව වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගොවියන් වීමට සිදු වුණා. අති විශාල පරිසක්‌ මේ නගරවලින් ගමට ගෙනයාමේ ක්‍රියාවලියත්, ගමෙන් නගරයට පැමිණීමේ ක්‍රියාවලියත් හරහා අති විශාල පිරිසක්‌ මිය ගියා, සාගතයෙන් වගේම වසංගත වලින්. මෙහි සියලුම ශාපය අද පැටවී තිබෙන්නේ සලූත්සා නොහොත් පොල්පොට්‌ටයි. නමුත් අදටත් කාම්බෝජයේත්, ඒ වගේම ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ඔහුගේ වාමාංශික ළදරු වලිප්පුව අනුගමනය කරන ඒ අනුව සමාජවාදය හා බෝල්ෂෙවික්‌ විප්ලවයක්‌ ක්‍රියාත්මක කිරීමට අදහස්‌ කරන විශාල පිරිසක්‌ ශ්‍රී ලංකාවේත්, තවත් රටවලත් ජීවත්වන බව ප්‍රකාශ කළ යුතුයි.
ඒ වගේම කිසියම් ආකාරයකට මේ සියලු ඝාතන හා සාගතවල වගකීම සලූත්සාටම පවරන්න බැහැ. මොකද ඒ කාම්බෝජය විවිධ යුධ බලවතුන් යටතේ විශාල ඝාතන පීඩනවලට ලක්‌වූ රටක්‌. විශේෂයෙන්ම ඇමරිකා එක්‌සත් ජනපදය නාපාලම් බෝම්බ හෙළීම නිසා විශාල පිරිසක්‌ ඝාතනයට ලක්‌ වූ කුඹුරු ඉඩම් ආදිය විශාල වශයෙන් විනාශ වී ගිය රටක්‌. මේ සාගත තත්ත්වය වියට්‌නාමයෙත්, ඊට සමාන්තර කාලයක ලාඕසයේත් ඇතැම් කාලවල බුරුමයේත්, ඒ වගේම චීනයේත්, ඉන්දියාවෙත් අපට දැක ගන්න ලැබුණා. විශේෂයෙන්ම ඉන්දියා නිදහස ලබාගත්තයින් පසු අතිවිශාල සාගතවලට මුහුණ දෙන්න 60 දශකයේදී ඉන්දියානුවන්ට සිදු වුණා. ඇමරිකා එක්‌සත් ජනපදයේ පීඑල් 480 තිරිඟු ගිවිසුම යටතේ තිරිගු නොලැබෙන්න ඉන්දියාවේ අති විශාල පිරිසක්‌ සාගතයෙන් මියයන්න නියමිතව තිබුණා. මේවාට ඉන්දීය නායකයින්ට වඩා වගකිව යුත්තේ මේ රටවල් පාලනය කළ මේ රටවල් සූරාකෑමට ලක්‌ කළ, මේ රටවල්වල ජනතාව ඝාතනය කළ පිරිස්‌. අපේ රටෙත් මෙවැනි තත්ත්වයක්‌ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ අපේ අටුකොටු, අපේ දේපල, වැව් විනාශ කොට අපව සාගත තත්ත්වයකට ඇද දැමූ බවත් අමතක නොකළ යුතුයි.

ඒ වගේම වර්තමානයේ සිරියාව, යේමනය, ඉරාකය දෙස බලන විට අපට පේනවා දරුවන් මන්ද බුද්ධිකවෙලා, මන්ද පෝෂණයට ලක්‌වෙලා, ඇටසැකිලි බවට පත්වී තිබෙන ආකාරය. යේමනයේත් 1/3 ක්‌ දරුවන් දැන් අනාථ වී තිබෙනවා. ඒ පොල්පොට්‌වාදීන් එහේ බලයේ ඉන්න නිසා නෙමෙයි. ඔවුන්ට ආහාර ගෙන ඒමට සම්බාධක සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් වලින් ගොඩනගා තිබීමත්, හූති ගරිල්ලන් එහි ගෙනයන ගහිල්ලා ව්‍යාපාරයට එරෙහිව සන්නද්ධ අරගලයක්‌ සිදුවීමයි. මීට කලින් අපි දැක්‌කා අප්‍රිකාවේ සෝමාලියාවේ, ඉතියෝපියාවේ, රුවන්ඩාව වැනි රටවල්වල දශ ලක්‌ෂ ගණන් ජනතාව මරා දමනවා, මිය යනවා. විශේෂයෙන්ම ක්‍රිස්‌තියානි නිකායන් අතර ගැටුම්, මුස්‌ලිම් නිකායන් අතර ගැටුම්, ගෝත්‍ර අතර ගැටුම්, මුස්‌ලිම් – ක්‍රිස්‌තියානි ගැටුම් ආදිය නිසා අප්‍රිකාවේ අති විශාල පිරිසක්‌ සාගතයෙන් ඒ වගේම මන්ද බුද්ධික භාවයෙන්, මන්ද පෝෂණයට, මරණයට, ෙ€දවාචකයකට ලක්‌වුණා. දැනුත් සිදුවන්නේ කුමක්‌ද, විශේෂයෙන්ම මේ දේශගුණික විපර්යාස නිසා, ජලය හිඟවීම ආදී කරුණු නිසා විශාල පිරිසක්‌ අනාථයින් බවට පරිවර්තනය වී තිබෙනවා. අද යුරෝපයේ ආණ්‌ඩු පෙරළන තත්ත්වයකට පත්වී තිබෙන්නේ උතුරු අප්‍රිකාවේ හා අරාබියේ රටවලින් බඩගින්නේ, ඒ වගේම වස්‌ත්‍ර නැතිව, නිවාස නැතිව සාමයත්, වගේම ජීවිතයත් අයදිමින් පලා එන අනාථයින් නිසයි.

මේක යුද්ධයේ සාමාන්‍ය ප්‍රතිඵලයක්‌. මේක කාලයක්‌ යුරෝපයත් භුක්‌ති විඳපු තත්ත්වයක්‌. විශේෂයෙන්ම 14 වන සියවසේ යුරෝපයේ පැතිරී ගිය කළු භීතිකාව එහෙම නැත්නම් Black deth එය නමින් හඳුන්වන ක්‍රියාවලිය නිසා යුරෝපයේ ජනගහනයෙන් ආසන්නයෙන් භාගයක්‌ පමණ මිය ගිය බව සටහන් වෙනවා. යුරෝපයේ සටන්, සටන් නිසා අතිවිශාල පිරිසක්‌ සාගතයට ගොදුරු වී මියගිය බවත් අප වටහා ගත යුතුයි. මෙවැනිම තත්වයක්‌ ඇමරිකා එක්‌සත් ජනපදය ගොඩනැඟීමේදී එහි ගෙන ගිය කළ යුතුයි. ඒ නිසා මේ ඝාතන කාම්බෝජයේ පොල්පොට්‌ටම පැවරීම යුක්‌ති සහගත වන්නේ නැහැ. මේ ඝාතන ඔහුගේ වැරදි, ආර්ථික ප්‍රතිපත්ති, වැරදි සමාජ ප්‍රතිපත්ති, මනෝරාජික මාක්‌ස්‌වාදී දේශපාලන දර්ශන නිසා ඇති වූවාක්‌ පමණක්‌ නෙමෙයි, ඔවුන්ට ඇති කරන ලද ඒ මහා අධිරාජ්‍යවාදී පීඩනය, සූරාකෑම, ඝාතනය, නාපාලම් බෝම්බ ආදිය විසින් ඇති කරපු තත්ත්වයක්‌ බවත් අපි හඳුනාගත යුතුයි.

වාසනාවකට දැන් මේ කිසිවක්‌ මේ රටවල්වල නැහැ. ඒ රටවල් දැන් ආර්ථික සමෘද්ධිය හඹා යැමට පටන් ගෙන. ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත්, තවමත් බටහිර රටවල් ප්‍රශ්න කරනවා. මියන්මාරයේ, තායිලන්තයේ, ලාඕසයේ, කාම්බෝජයේ, වියට්‌නාමයේ ප්‍රජාතන්ත්‍රවාදය මේ රටවල් ප්‍රශ්න කරනවා. ඒ රටවල්වල මහජන ඡන්දයෙන් ආණ්‌ඩු පත් කිරීමේ ක්‍රියාවලීන්වලට යම් යම් බාධා පැමිණ තිබෙන බව ඇත්තයි. නමුත් ඒ රටවල පාලකයින් ඒ රටවල් ශීඝ්‍ර ආර්ථික වර්ධනයකට ගමන්කොට තිබෙනවා. ඔවුන්ගේ මතය ආර්ථික වර්ධනයට පසු පසින් දේශපාලන ප්‍රජාන්ත්‍රවාදය, නිදහස්‌ ලිබරල් ප්‍රතිසංස්‌කරණ සිදු විය යුතු බවයි. මුලින් ආර්ථික දියුණුව ළඟා කරගත යුතුයි. නමුත් බටහිර රටවල් විශ්වාස කරන්නේ ආර්ථික දියුණුවට කලින් ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කළ යුතු බවයි.

පොල්පොට්‌ නොහොත් සලූත්සා යනු ඉතිහාසයේ එක්‌තරා අවස්‌ථාවක්‌. මේ රට තුළත් එවැනි බෝල්ෂෙවික්‌ සමානාත්මතාවාදී රටක්‌ බිහි කර ගැනීම සඳහා විවිධ පාර්ශ්ව ඝාතන සිදු කළ බව අපි අමතක නොකළ යුතුයි. ඒවා පරාජය කිරීමට දියත් කළ හමුදා ක්‍රියාවලි විසින් අති විශාල පිරිසක්‌ මහමග ඝාතනය වූ බවත් අපි අමතක නොකළ යුතුයි. දැන් අපි ඒ සියල්ලෙන්ම පාඩම් ඉගෙනගත යුතුයි. අපි ආර්ථික වර්ධනය ඉදිරියෙන් තබලා, ප්‍රජාතන්ත්‍රවාදය පස්‌සෙන් තැබීමටවත්, ප්‍රජාතන්ත්‍රවාදයයි නිදහසයි ඉදිරියෙන් තබා ආර්ථික වර්ධනය පස්‌සෙන් තැබීමටවත් ඉදිරිපත් විය යුතු නැහැ. අපි දෙකම සම සමව තබාගෙන නිදහස්‌ ආර්ථිකයත්, නිදහස්‌ සමාජයත් ඉදිරියට ගෙන යා යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *