Sep 24

“මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු ගොඩනඟා ගන්නේ ඇවිදගන්න පුළුවන් වුණොත් විතරයි…” – ආබාධිත දියණියත් අරන් පාසලට යන මවක් ගැන පොළොන්නරුවෙන් ඇසෙන කඳුළු කතාව – Photos

වැටුණේ කොහොමද කියලා අදටත් මට ලොකු අබිරහසක්..
මට ඉස්පිරිතාලයේදී ටිකක් සිහිය ආවා. පස්සේ මම නුවර අරන් ගියා..
 
අපේ රටේ පාසල් දූ දරුවන්ට සහ මව්වරුන්ට ආදර්ශවත් පාඩමක් කියා දෙන දිරිය මවකගේත්, දියණියකගේත් සංවේදී කතාවක් පොළොන්නරුව වැලිකන්ද අති දුෂ්කර අසේලපුර ගම්මානයෙන් අපට අසන්නට ලැබෙයි.
 
ඒ තම ඇවිදීමට නොහැකි ආබාධිත දියණිය නොකඩවා වසර පහක්ම රෝද පුටුවකින් පාසලට රැගෙන ගොස් උගන්වන දිරිය අසරණ අම්මා කෙනෙකු පිළිබඳවය.

පසුගිය වසරේ මුහුණ දුන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම ජයගෙන මේ වන විට අසේලපුර මහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරන නිශාන්ති මධුෂිකා දිරිය දියණිය අපේ කතාවේ නායිකාවය.
 
වැලිකන්ද අසේලපුර අංක 313 දරන ඉතා අබලන් නිවසේ වෙසෙන නිශාන්ති මධුෂිකාගේ පියා 55 වියැති ජී.ඩබ්ලිව්. නිමල් චන්ද්‍රසිරි ය. මව එස්.පී. පත්මා ඉන්ද්‍රාණි ය. ඇයගේ වයස අවුරුදු පනස් තුනකි.
 
ඇගේ වැඩිමහල් එකම සහෝදරිය වන නිරෝෂි චතුරංගි ප්‍රභානි ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාව කරමින් දිවි සරිකර ගන්නීය.
 
ඇයගේ පියා වන නිමල් චන්ද්‍රසිරි සිවිල් ආරක්ෂක භටයකු ලෙස රැකියාව කරන්නේය.
 
අඩමානයට අටවා ගත් නිවසේ වහලයේ පරාලත් උළු කැටත් දිරා පත් වී ඇත. අනාරක්ෂිතව දිවි ගෙවන මෙම පවුලම වැසි දිනවල නොතෙමී සිටීම ද පුදුම සහගතය. ඒ තරමටම නිවසේ වහලයේ උළු සිදුරු බවට පත්ව අබලන්ව තිබේ.
 
මේ සියලු දුක් කම්කටොලු මැද 2014 වසරේ දෙසැම්බර් 14 වෙනිදා තවත් අවාසනාවන්ත ඉරණමකට බාල දියණිය වන නිශාන්ති මධුෂිකා මුහුණ දුන්නාය.
 
ඒ දහම් පාසල් ගොස් යළි නිවසට එන අතුරතුර හරියටම අසේල පුර මහා විද්‍යාලය ඉදිරිපිට හදිසියේ බිම ඇද්‍ වැටී සිදු වූ අනතුරයි.
 
එම දරුණු ඇද වැටීම නිසා නිශාන්ති මධුෂිකාගේ හිසටත්, කොඳු නාරටියටත් තදබල හානි වීමෙන් මාස තුනකට වැඩි කාලයක් නුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය.
 
ඉන් නිසි සුවයක් නොලද නිසා නිශාන්තිගේ මව් පියන් සිංහල වෙදකම හෙවත් ආයුර්වේද ප්‍රතිකාර සොයා වසරකට වැඩි කාලයක් කාලය වැය කළ අතර අනුරාධපුර, පොළොන්නරුව, පිඹුරත්තෑව වැනි ප්‍රදේශ වල රෝහල් වලින් ප්‍රතිකාර කෙරිණ.
 
ඒ සඳහා මේ මව්පියන් මුදල් සොයා ගත්තේ තම එකම අක්කර 2 1/2 කින් සමන්විත කුඹුරු ඉඩම රුපියල් ලක්ෂ 2 1/2 කට උකසට තබමිනි.
 
දියණියගේ ආබාධය එතරම් සුවයක් නොමැති නිසා ඔවුහු රට වටේට තව තවත් ණය වී වෛද්‍යවරුන්, ගොඩ වෙදදුරන් සිටින තැන් පීරන්නට වූහ.
 
ණය බරත් උසුලා ගැනීමට නොහැකිවත් තවදුරටත් ප්‍රතිකාර සොයා යාම පලක් නොවන නිසා ටික කලකට බෙහෙත් නොකිරීමෙන් එලෙස එක්තැන් වුවද නිශාන්ති මධුෂිකා පාසල් ගමන අත් නොහැරියාය. පත්මා ඉන්ද්‍රාණි මව තම දියණිය රෝද පුටුවක් මත තබා අඛණ්ඩව පාසල පැවැත්වෙන සෑම දිනකම රැගෙන ගොස් ඉගැන්වීමට අධිෂ්ඨාන කර ගත්තාය.
 
මීට වසර පහකටත් එහා තම ජීවිතයට ආබාධකයත් තමන් මුහුණ දුන් අවාසනාවන්ත සිද්ධිය නිශාන්ති මධුෂිකා දෙනෙත්වල කඳුළු පුරවා ගනිමින් මෙලෙස වචන බවට පෙරළුවාය.
 
“මම දහම් පාසල් ගිහිං එද්දි එදා මගේ ඉස්කෝලේ ඉදිරිපිට එක පාරටම බිම වැටුණා. මමත් එක්ක තව යාළුවෝ දෙන්නෙකුත් ආවා. මට වුණේ​ මොකද්ද කියල හිතා ගන්න බැරි වුණා. වැටුණේ කොහොමද කියලා අදටත් මට ලොකු අබිරහසක් වගේම ප්‍රහේලිකාවක්…”
 
“ඊට පස්සේ මාව පොළොන්නරුව මහ රෝහලට අරන් ගිහින් තියෙනවා. මට ඉස්පිරිතාලයේදී ටිකක් සිහිය ආවා. පස්සේ මම නුවර මහ රෝහලට අරන් ගියා. මාස තුනක්ම මට බෙහෙත් කළා. අදටත් මට ඇවිදගන්න බැහැ. අම්මා තාත්තා මට බෙහෙත් කරන්න හැම තැනම අරන් ගියා. කුඹුර උකස් කරලත් ඒ සල්ලි වලින් මට වෙදකම් කළා…”
 
“නමුත් අඩුවක් වුණේ නැහැ. ඩොක්ටර්ලා කීවා මට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. හැබැයි ඒක කළොත් සමහර විට ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවෙයි. නැත්නම් කකුල් දෙකම අප්‍රාණික වෙයි කියලා. ඒකට රුපියල් 1,10,000 ක මුදලක් යනවා කිව්වා. ඉතින් අම්මා තාත්තා බය වෙලා මට හානියක් වෙයි කියලා ඒ ඔපරේෂන් එක කළේ නැහැ. මට දැන් අැවිද ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු ගොඩනඟා ගන්නේ ඇවිද ගන්න පුළුවන් වුණොත් විතරයි…..” දෑසින් රූරා වැටෙන කඳුළු බිඳු පිසලමින් නිශාන්ති කතාවට විරාමය තැබුවාය.
 
පාසල පැවැත්වෙන සෑම දිනකම තම දියණිය අබලන් රෝද පුටුව මත තබා ගෙන දිනකට කිලෝ මීටර් එකක් පමණ එහා මෙහා පයින් ඇවිදින පත්මා ඉන්ද්‍රාණි මහත්මියගේ අසීමිත කැප කිරීම ද අන් මව්වරුන්ට උතුම් පාඩමකි.
 
“මම දුව උදේට ලෑස්ති කරලා කවලා කොණ්ඩය පීරලා රෝද පුටුවට උස්සලා ගෙනත් තියලා මීටර් පන්සීයක් විතර පාසලට තල්ලු කරන් යනවා. පන්තියේ ඉගෙන ගන්නෙත් රෝද පුටුවේ ඉඳන්. එයාට පන්සිල් ගන්න ගිහින් හිටගෙන ඉන්න බැහැ දෙපා අප්‍රාණික හින්දා. ඒ නිසා පන්සිල් ගන්නෙත් රෝද පුටුවේ ඉඳන්. ඉස්කෝලේ ඇරෙනකම් මම බලා ගෙන ඉඳලා ආයෙත් දුවව ගෙදර එක්ක එනවා…”
 
“පංතියේ ඉගෙන ගන්න අතරතුර දුවට එළියට යන්න අවශ්‍ය වුණොත් එයාගේ යාළුවොයි. ටීචර්ලායි උදව් කරනවා. එයාව හත වසරේ ඉඳන් මම ඉස්කෝලෙට රෝද පුටුවෙන් අවුරුදු පහක් පුරාවට අරන් යනවා. දුව ගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය ලියලා විෂයයන් නවයෙන් හතක් සමත් වෙලා විෂයයන් තුනකට සම්මාන තුනකුත් ගත්තා. ඉතිං එතැන දුවගේ වගේම මගේ කැපවීමත් තියෙනවා. මගේ හීනයත් දුව කොහොම හරි ඇවිද්දවන මට්ටමට ගන්න…”
 
“2020 වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. ඉගෙන ගන්න උවමනාව, දක්ෂතාව තියෙන නිසා දුව උසස් පෙළ විභාගය ඉහළින් සමත් වෙයි කියලා මම විශ්වාස කරනවා…” පත්මා ඉන්ද්‍රාණි කියයි.
 
සුළු රෝගයකට වුවද පාසල් නොයන නොයවන අපේ රටේ ඇතැම් පාසල් දරුවන්ටත් මව්පියවරුන්ටත් වැලිකන්ද අති දුෂ්කර අසේලපුර ගම්මානයෙන් සහ විද්‍යාලයෙන් නිශාන්ති මධුෂිකා සේම ඇගේ මව පත්මා ඉන්ද්‍රාවතිත් ලබා දෙන අභියෝගය ජය ගැනිමේ පාඩමත් කැපවීම, උත්සාහය මෙන්ම මව්පිය දූ දරු සෙනෙහසටත් අපට වෙන උදාහරණ අවශ්‍යද?
 
වන අලි තර්ජන මැද බීමට හරි හැටි පිරිසිදු ජල පොදක් නොමැතිව යටිතල පහසුකම් වලින් පතුලෙම සිට දිවි ගෙවන අසේලපුර ගම්මානයේ ඇසෙන දකින මේ අපූරු සංවේදී කතාන්දරය සැබැවින්ම අප කාටත් කදිම පාඩමකි.
 
අසේලපුර අති දුෂ්කර පාසලේ අධ්‍යාපනය ලබන නිශාන්ති මධුෂිකා දියණියගේ උත්සාහයත් අභියෝග ජය ගැනීමත් දිරිය මවකගේ කැප කිරිමත් අසේලපුර මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. වසන්ත පීරිස් මහතා අපට පැවසුවේ මහත් ආඩම්බරයෙනි.
 
“මගේ විදුහල්පති ධුර කාලය තුළත් ජීවිත කාලය තුළත් මේ වගේ කැප කිරීම් කරන දිරිය දියණියක් හා මවක් දැකලා නැහැ. ඇත්තටම අපේ රටේ පාසල් දූ දරුවන්ට මව්වරුන්ට මෙම සිද්ධිය පූර්වාදර්ශයක්…”
 
“අපේ පාසලේ එක වසරේ සිට දහතුන වසර දක්වා කලා වාණිජ්‍ විද්‍යාව, ගණිතය විෂයයන් උගන්වනවා. දරුවන් 661 ක් විතර ඉගෙන ගන්නවා. ගුරුවරු 33 ක් සිසුන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ අයත් පුදුමයට පත් වෙනවා මේ දියණියගේ මවගේ කැප කිරීමට. මේ අම්මා මහ පුදුමාකාර රැකවරණයක් ඒ දියණියට ලබා දෙනවා. නිශාන්ති දියණිය ගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට අපේ පාසලෙන් මුහුණ දීලා ඉහළින්ම සමත් වූ සිසුන් අතරින් එක් කෙනෙක්…”
 
“දැන් ඇගේ රෝද පුටුවේ රෝද හරියට කැරකෙන්නෙත් නැහැ. මං හිතන්නේ ඒත් ඒ අම්මා මීටර් 500, 600 ක් විතර දුවව රෝද පුටුවේ තියාගෙන අමාරුවෙන් පාසලට තල්ලු කරන් එනවා. බලන්න දුකයි. නිශාන්තිට පාසලේ හැමෝම උදව් කරනවා. එයා උදේට පන්සිල් ගන්නෙත් පංතියේ ඉඳන්ම. මොකද පන්සිල් ගන්න තැනට ඇවිත් හිටගෙන ඉන්න බැහැ. පාද අප්‍රාණික නිසාත්, කොඳු නාරටියේ ආබාධය නිසාත්. නිශාන්ති ඉගෙන ගන්නත් ඉතා දක්ෂයි. මම ප්‍රාර්ථනා කරනවා අ.පො.ස. උසස් පෙළ විභාගයෙනුත් අැය ඉහළින්ම සමත් වෙන්න කියලා…” විදුහල්පති වසන්ත පීරිස් මහතා පැවසුවේය.
 
ජීවිතයේ සියලු අභියෝග ජය ගැනීමට වෙර දරන අසේලපුර මහා විද්‍යාලයේ කලා අංශයේ අධ්‍යාපනය ලබන මේ විශේෂ අවශ්‍යතා අවශ්‍ය නිශාන්ති මධුෂිකාගේ මුවින් නැඟුණ වදන් පෙළකින් අපි මේ කතා පුවත සීමා කරමු.
 
“මගේ ලොකුම හීනය ඇවිදන එක. ඒකට මට අම්මා තාත්තා අක්කා යාළුවෝ ගුරුවරු උදව් කරාවි. ඒ උදව් වලින් මම හැම විභාගයක්ම ජය ගන්නවා. ඒ කරලා මම වගේ ආබාධිත අයට උදවු උපකාර කරනවා ජීවිතය ගොඩ ගන්න. මට මගේ ගෙදරයි පාසලට අවශ්‍ය පුස්තකාල පොතුයි ඩෙස් පුටු ටිකයි හදා ගන්න ඉඩක් ලැබුණොත් හොඳයි. ඒ හීනය සැබෑ කර ගන්න කවුරු හරි උදව් කළොත් ​ලොකු කුසලයක් අත්වේවි…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *