Sep 30

පිළිකා රෝගයෙන් පිඩා විදින පිහිණුම් ශූරි සාරා, ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් ලෝක වාර්ථාවක් තබයි

පියයුරු පිළිකාව හා සටන් කර ජීවිතය බේරාගත් පිහිනුම් ශූරියක වන සාරා තෝමස්, අඛණ්ඩව පැය 54ක් පුරා සිවු වරක් ඉංග්‍රීසි ඕඩය තරණය කර පිහිනමින් ලෝක වාර්තා බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

37 වැනි වියේ පසුවෙන ඈ ඇමරිකානු ජාතික කාන්තාවක්. මෙම ලෝක වාර්තාව තබන්නට ඈ පෙළඹුණේ පිළිකා රෝගවලින් පෙළෙන්නන්ට මානසික ශක්තියක් ලබාදීම පිණිසයි. එම පිහිනුම් සැරිය පිළිකාවෙන් ගැලවුණු අය සහ පිළිකාව වැළඳුණු අය පිණිස කැප කරන බව ඈ විදෙස් මාධ්‍ය සදහා පවසා තිබෙනවා.

“මේ ගමන සිය ජීවිත උදෙසා යාච්ඤා කළ, ඊළඟට සිදුවෙන්නේ කුමක්දැයි කලකිරීමෙන් යුතුව බලා සිටින, වේදනාව හා බිය ජයගැනීමට සටන් කරන අයවලුන් වෙනුවෙන් වේවා…. දුෂ්කරම අවස්ථාවලදී අප සමඟ සිටි පවුලේ සාමාජිකයන් හා ඥාතීන් වෙනුවෙන් වේවා… ”

අප්‍රතිහත ධෛර්යය නිසා ඇය පිහිනුම් ලෝකයේ විශිෂ්ටයන්ගේ ඇගයීමටද පාත්‍ර වුනා. උත්තරධ්‍රැවය හරහා පළමු වරට පිහිනූ ලුවිස් පග් ඇය අගයමින් කතා කළේ, සීතල, ජෙලි මත්ස්‍යයන්, අධික වෙහෙස, ආත්ම විශ්වාසය හා මනස ඒකාග්‍රව තබා ගැනීම යන අභියෝග පහ ඈ ජයගෙන ඇති බව සඳහන් කරමිනුයි.

මෙම වාර්තාව තබමින් ඇය ඉංග්‍රීසි ඕඩය හරහා නොනවත්වා පිහිනූ පළමු කාන්තාව බවට පත් වූවා. වාර්තාව තැබීම බ්‍රිතාන්‍යයේ ඩෝවර් වරායෙන් ආරම්ඹ වු අතර අවසන් වූයේ එක්සත් රාජධානියේ දකුණු වෙරළ තීරයෙනුයි. පිහිනුම් සැරිය අතරතුර ශක්තිය ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝලයිට අධික ප්‍රෝටීන පාන වර්ග හා කැෆේන් ලබාගත් බවත්, ජෙලි මසුන් මුහුණට පහරදුන් අත්දැකීම බියකරු බවත් ඈ සඳහන් කර තිබෙනවා. ඈ සැලසුම් කළ පරිදි මුළු දුර සැතපුම් 80ක් වුවත්, ප්‍රබල දියවැල් හේතුවෙන් ඇයට සැතපුම් 130ක් පමණ දුර පිහිනන්නට සිදු වූ බවත් විදෙස් මාධ්‍ය සදහා ප්‍රකාශ කර තිබෙනවා.

සීතලට හා කාලගුණයට මනාව සූදානම්ව සිටියද, මුහුණ දෙන්නට සිදුවූ විශාලම අභියෝගය ලවණ ජලය නිසා උගුර, තොල් හා දිව වේලී වේදනා දෙන්නට වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙය ඇගේ පළමු ලෝක වාර්තාව නොවන අතර 2012 වසරේදී ඇය ලෝකයේ නැව් ගමන් මාර්ග ඔස්සේ පිහිනායමින් වාර්තාවක් තැබීමට සමත් වුනා. ඒ වගේම 2016දීත් ඇය ඉංග්‍රිසි ඕඩය තරණය කරමින් පිහිනා තිබෙනවා.

තෝමස්ගේ මෙවර ඉතිහාසගත පිහිනුම් අත්දැකීම රූගත කෙරුණු අතර එය සිනමාකරුවෙකු වන ජෝන් වොෂර්ගේ ‘ද අදර් සයිඩ්’ නමැති වාර්තා චිත්‍රපටයෙන් ප්‍රදර්ශනය කිරීමටද නියමිත බවත් සදහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *