Dec 21

පිළිකාවලට අත වනන දුම්වැටිය

පසුගිය සතියේ “සුවදිවි පියස” වෙතින් පිළිකා කාරක ගැන සාකච්ඡාව අරඹන ලදී. මෙතැන් සිට එක්‌ එක්‌ පිළිකා කාරකය ගැන සවිස්‌තරාත්මකව කරුණු සොයා බලමු. විශේෂඥයන්ගේ මතය වනුයේ ලෝකයේ ඇති වළකාගත හැකි ලොකුම පිළිකා කාරකය දුම්කොළ බවය. ඒ නිසාම පිළිකා කාරක ගැන වගතුග, මිනිස්‌ සංහතියට මරු කැඳවන, දුම්වැටියෙන් අරඹමු.

මහා බ්‍රිතාන්‍යයේ පමණක්‌ පිළිකා නිසා සිදුවන මරණවලින් සියයට 28 ක්‌ සඳහා ද සෑම පිළිකා රෝගීන් පස්‌දෙනකුගෙන් එක්‌ පිළිකා රෝගියෙකුගේ පිළිකාවටද හේතුව මේ මාරාන්තික දුම්වැටියයි. දුම්වැටිය විසින් මිනිසුන් අකාලයේ මරා දමනුයේ පිළිකා සෑදීමෙන් පමණක්‌ම නොවේ. මේ හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ පමණක්‌ හෘදයාබාධ සහ නොයෙකුත් පෙණහලු රෝග ඇති කරමින් වසරකට දස දහස්‌ ගණනින් මිනිසුන් අමු අමුවේ මරා දැමීමට දුම්වැටිය සමත් වී තිබේ. පිරිමින්ගේ බාහිර ලිංගේන්ද්‍රිය හෙවත් ශිෂ්ණය අවශ්‍ය වේලාවට ප්‍රාණවත් කර ගැනීමට නොහැකිවීම හෙවත් ලිංගික බෙලහීනතාවටද ප්‍රධාන හේතුව මෙම දුම්වැටිය බව තරුණයන් හොඳින් සිහි තබා ගැනීම වැදගත් වනු ඇත. විසිවන සියවසේ පමණක්‌ ලෝකයේ මිනිසුන් මිලියන 100 කට වඩා මරා දමා ඇති දුම්වැටියට වර්තමාන දුම් ඉරීමේ නැඹුරුතාව එලෙසම පවත්වාගෙන ගියහොත්, 21 වන සියවස තුළ දුම්වැටි නිසා මියයන මිනිසුන් ප්‍රමාණය බිලියනයක්‌ දක්‌වා වැඩිවිය හැකි බවට ඇස්‌තමේන්තු කර ඇත. එලෙසම දීර්ඝකාලීනව දුම්වැටි උරන්නන්ගෙන් 2/3 ක ප්‍රමාණයක්‌ එම පුරුද්ද නිසා අකාලයේ මියෑදෙන අතර සාමාන්‍යයෙන් දුම්වැටි උරන්නන්ගේ ජීවිත කාලය දුම් නොබොන්නන් සමඟ සැසඳීමේදී වසර 10 කින් පමණ අඩුවෙයි. මෙය නිකම්ම නිකම් අඩුවීමක්‌ නොවන අතර ජීවත්වන කෙටි කාලයද විඳවමින් ජීවත් වීමට ඔවුනට සිදුවනු ඇත.

සිගරැට්‌ දුමේ එකිනෙකට වෙනස්‌ රසායනිකයන් 5300 කට වඩා වැඩි ප්‍රමාණයක්‌ ඇති බවට විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ලෝකයේ ඇති පිළිකා කාරකයන් මොනවාදැයි සොයා බලන ප්‍රකට ආයතනයක්‌ වන පිළිකා පිළිබඳ පර්යේෂණ පවත්වනු ලබන අන්තර්ජාතික ඒජන්සිය (International Agency For Research into Cancer – IARC) පවසන අන්දමට සිගරැට්‌ දුමාරයේ මිනිසුන්ට පිළිකා සෑදිය හැකි රසායනික ද්‍රව්‍යයන් 70 කට අධික ප්‍රමාණයක්‌ ඇති බවට වර්තමානයේ සොයාගෙන තිබේ. මීට අමතරව කාබන් මොනොක්‌සයිඩ්, හයිඩි්‍රජන් සයනයිඩ් සහ ඇමෝනියා වැනි තවත් දහසකට වැඩි රසායනිකයන් ප්‍රමාණයක්‌ තවත් ලෙඩ රෝග රැසක්‌ මිනිසාට දායාද කිරීමට සමත්කම් පෙන්වමින් සිගරැට්‌ දුමෙන් පිටවනු ඇත.

සිගරැට්‌ දුමෙහි ඇති පිළිකා කාරක රසායනිකයන්ට මිනිස්‌ සිරුරේ සෛල වල DNA අනුවලට හානි සිදුකළ හැකිය. නිදසුනක්‌ ලෙස ගතහොත් සිගරැට්‌ දුමෙහි ඇති බෙන්සො (a) පයිරින් (benzo (a) pyrene) නම් රසායනිකය සෛලවල න්‍යෂ්ටියේ ඇති DNA අණුවල ඇති ‘p53’ නම් පිළිකා සෑදීම වළකාලීමට වැදගත් වන ජානයකට හානි කරමින් එහි විකෘති ඇති කරයි. මිනිස්‌ සිරුරේ ඇති DNA අණුවල ඇති “ජාන පද්ධතියේ ආරක්‍ෂකයා” යන විරුදාවලිය ලත් මෙම ජානයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් පිළිකාවක්‌ හටගත හැකිය. තවද සිගරැට්‌ දුමාරයේ ඇති විකිරණශීලී පොලෝනියම්-210 රසායනිකය, සිගරැට්‌ දුම උරන්නාගේ ශ්වසන නාල පද්ධතිය තුළ තැනින් තැන සාන්ද්‍ර වීමෙන් ඒ අසල ඇති අපිච්ඡදයේ සෛලවලට අධිශක්‌ති ඇල්ෆා විකිරණ (alpha – radiation) වලට නිරාවරණය වීමක්‌ සිදුවෙයි. මෙම විකිරණවලට නිරාවරණය වන සෛලවල DNA අණු මෙම විකිරණ මගින් හානියට ලක්‌වී විකෘති සාදයි. රසායනික විෂ ද්‍රව්‍ය දහස්‌ ගණනක මිශ්‍රණයක්‌ ලෙස සිරුරට ඇතුල් වන සිගරැට්‌ දුමාරය තුළ කැඩ්මියම්, ආසනික්‌, ලෙඩ් වැනි විෂ ලෝහ වර්ග අඩංගු වන අතර ඒවා මගින් හානියට පත්ව ඇති DNA කොටස්‌ නැවත පිළිසකර කිරීමට අවහිරතා ඇති කරනු ලබයි. මේ අනුව බෙන්සො (a) පයිරීන් වැනි රසායනිකයන් මගින් හානියට පත්වන DNA අණු නැවත පිළිසකර කර යථා තත්ත්වයට පත් කිරීමට මෙමගින් බාධා ඇතිවන අතර මෙම විකෘති සහිත සෛල අවසානයේදී පිළිකා සෛල බවට පරිවර්තනය වෙයි. පෝමැල්ඩිහයිඩ් සහ ඇක්‌රොලින් වැනි විෂ රසායනිකයන් මගින් ශ්වසන මාර්ගයේ ඇති රෝම මරා දමන අතර එමගින් ශ්වසන මාර්ගය ඔස්‌සේ පෙණහලු තුළට ඇතුළු වීමට තැත් කරන නොයෙක්‌ විෂ සහිත ද්‍රව්‍යයන් එම මාර්ගය ඔස්‌සේ සිරුරෙන් ඉවතට පිටමං කර දැමීමේ යාන්ත්‍රණය අඩපණ වී යයි.

සිගරැට්‌ දුම ඉරීම මගින් අඩුම තරමින් පිළිකා වර්ග 14 ක්‌ වත් සෑදීමේ අවදානම වැඩිවෙයි. මේ අතර පෙණහලු, ස්‌වරාල, ගලනාල, මුඛ සහ ග්‍රසනිකා, මුත්‍රාශ, අග්න්‍යාශයික, වකුගඩු, අක්‌මා, ආමාශ, බඩවැල, ගැබ්ගෙල, ඩිම්බකෝෂ, නාසය සහ හිස්‌කබලේ කුටීර තුළ පිළිකා ප්‍රධාන වෙයි. තවද ඇතැම් ලේ පිළිකා ඇතිවීමටද දුම්වැටිය යම් අවදානමක්‌ ඇති කරයි. පියයුරු පිළිකා සමහරක අවදානමද දුම්වැටි ඉරීම නිසා වැඩිවන බවට යම් පමණකට සාක්‍ෂි තිබේ. කෙසේ නමුත් දුම්වැටිය පෙණහලු පිළිකා සෑදීම සඳහා ලබාදෙන සම්මාදමේ ප්‍රමාණය අනෙක්‌ කවර පිළිකාවකටත් වඩා බොහෝ ගුණයකින් වැඩිය. ඊට අමතරව දුම්වැටිය හේතුවෙන් බහුලව ඇතිවන අනෙක්‌ පිළිකා ලෙස මුඛ, උගුර, ස්‌වරාලය සහ ගලනාලයේ පිළිකා දැක්‌විය හැකි අතර එම පිළිකා රෝගීන් දස දෙනකුගෙන් සය දෙනකුගේම පිළිකාවට හේතුව දුම්වැටියයි. මහා බ්‍රිතාන්‍යයේ සෑම පෙණහලු පිළිකා රෝගීන් පස්‌දෙනකුගෙන් සතර දෙනකුගේම එම පිළිකාවට හේතුව දුම්වැටි ඉරීමයි. තවද එම රටේ පිළිකා නිසා වැඩිම මරණ සංඛ්‍යාවක්‌ සිදු වන්නේ පෙණහලු පිළිකා නිසාය.

දුම්වැටි උරන්නන්ගේ පෙණහලු පිළිකා අවදානම දුම්වැටි උරන්නේ නැති අයට වඩා බෙහෙවින් වැඩි බව මුලින්ම සොයාගනු ලැබුයේ 1950 දීය. මෙම පරීක්‍ෂණයට අනුව දිනකට දුම්වැටි 20 ක්‌ පමණ උරන කෙනකුගේ පෙණහලු පිළිකා ඇතිවීමේ අවදානම දුම්වැටි නොඋරන කෙනෙකුට වඩා 26 ගුණයකින් වැඩිය. තවද දිනකට දුම්වැටි 3 ක්‌ උරන කෙනකුගේ පෙණහලු පිළිකා අවදානම දුම්වැටි නොඋරන කෙනකුට වඩා 6 ගුණයකින් වැඩිය.

ඉහත පරීක්‍ෂණයේ ප්‍රතිඵල දුම්වැටියට හිමිව තිබූ “ප්‍රතිරූපය” දෙදරා යෑවීමට හේතු විය. මේ හේතුව නිසා මහා බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් විසින් මහා බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනයේ ආධාර ඇතුව දුම්වැටි උරන බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් යොදාගෙන දීර්ඝකාලීනව කරගෙන යන මහා පරිමාණ පර්යේෂණයක්‌ අරඹන ලදි. මෙම පරීක්‍ෂණයේ ප්‍රතිඵලය වූයේ දුම්වැටි ඉරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵලයන් රැසක්‌ හෙළි කර ගැනීමට හැකිවීමයි. මේ අතර දිනකට දුම්වැටි 25 කට වඩා උරන පිරිමියෙකුට පෙණහලු පිළිකාවක්‌ ඇතිවීමේ අවදානම දුම්වැටි නොඋරන කෙනකුට වඩා 24 ගුණයකින් වැඩි බව අනාවරණය විය. දිනකට උරන දුම්වැටි ගණන සහ ඒවා උරන වසර ගණන අනුව කිසියම් පුද්ගලයකුගේ පෙණහලු පිළිකාවක්‌ සෑදීමේ අවදානම නිශ්චිතවම ගණනය කළ නොහැකි වුවද දැනට කර ඇති පර්යේෂණ රැසක ප්‍රතිඵල අනුව පෙණහලු පිළිකා ඇතිවීමේ අවදානම දිනකට උරන දුම්වැටි ගණන වැඩිවන විටත්, දුම්වැටි උරන වසර ගණන වැඩිවන විටත්, ඒවා ඉරීම පටන් ගන්නා වයස අඩුවූ විටත් සැබැවින්ම වැඩිවන බව නිසැකවම අනාවරණය කරගෙන ඇත. කෙසේ නමුත් කෙනකු දිනකට උරන දුම්වැටි ගණනට වඩා එම පුද්ගලයා කොපමණ කාලයක්‌ දුම්වැටි උරන්නේද යන්න පිළිකා අවදානම වැඩිකිරීම කෙරෙහි වැඩිපුර බලපානු ඇත. උදාහරණයක්‌ ලෙස දිනකට දුම්වැටි 20 ක්‌ බැගින් අවුරුදු 20 ක්‌ දුම්වැටි උරන කෙනකුගේ පිළිකා අවදානම දිනකට දුම්වැටි 40 ක්‌ බැගින් අවුරුදු 10 ක්‌ දුම්වැටි උරන කෙනකුගේ පිළිකා අවදානමට වඩා බෙහෙවින් වැඩිය.

තමන් උරන දුම්වැටි ගණන වැඩිවූ තරමට අකල් මරණයකට ඇති අවදානම වැඩිවන නමුත් ඇතැමුන් පවසන ආකාරයට “පොඩ්ඩක්‌” හෝ “ඉඳහිට” දුම්වැටි පාවිච්චිය මගින් මෙම අවදානම ශූන්‍ය වීමක්‌ සිදු නොවේ. එක්‌ පරීක්‍ෂණයකට අනුව දිනකට දුම්වැටි 4 ක්‌ දක්‌වා උරන අයගේ අකල් මරණයකට තිබෙන අවදානම දුම් නොබොන අයට වඩා 50% කින් වැඩිය. මෙයින් පැහැදිලි වනුයේ සෞඛ්‍ය සම්පන්නව වැඩි කාලයක්‌ ජීවත් වීමට බලාපොරොත්තු වන අය දුම්වැටි ඉරීම යම්තමින්වත් සිදු නොකළ යුතු බවය.

දුම්වැටි ඉරීම නිසා ඇතිවන පිළිකා අවදානම එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නවතා දැමූ පසු බෙහෙවින් අඩුවන බව දුම්වැටි ඉරීම දිගටම කරගෙන යන අයගේ පිළිකා අවදානම සමඟ සැසඳීමේදී බොහෝමයක්‌ පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබේ. තවද මෙම නවතා දැමීම ඉක්‌මනින්ම කරන තරමට ප්‍රතිඵල වඩාත් යහපත් වෙයි.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් යොදාගෙන කරන ලද පර්යේෂණයේ අලුත්ම ප්‍රතිඵල අනුව තම වයස අවුරුදු 30 ට ප්‍රථම දුම් ඉරීම නවතා දැමීම මගින් තම ආයුෂ අපේක්‍ෂාව දුම් නොබොන්නන්ගේ ආයු අපේක්‍ෂාව තරමටම වැඩි කරගත හැකි බව පෙන්වාදී තිබේ. තවද එම පරීක්‍ෂණයටම අනුව තම වයස වසර 60 දී පවා දුම්බීම නවතා දැමීමෙන්, දුම්බීම නිසා තමන්ට අහිමි වන වසර ගණන දිගටම දුම්බීම කරගෙන යන අයට වඩා තරමක්‌ අඩු කර ගැනීමට හැකියාව තිබේ.

බොහෝ පර්යේෂණවල ප්‍රතිඵලවලට අනුව වඩාත් සුභදායි වන්නේ දුම්වැටි ඉරීම අඩු කරනවාට වඩා එය සම්පූර්ණයෙන්ම එකවර නවතා දැමීමය. කෙසේ නමුත් එය එකවර කළ නොහැකි අය ක්‍රම ක්‍රමයෙන් දුම් ඉරීම අඩු කිරීමද වැදගත් වන්නේ මෙසේ උත්සාහ දරන බොහෝ පිරිස අනාගතයේ දී බොහෝ විට දුම් ඉරීම සම්පූර්ණයෙන්ම නැවතීමට ඉඩකඩ වැඩි බැවිනි.

බොහෝ දෙනෙක්‌ නොදන්නා කාලයේ දී දුම්වැටි ඉරීම ආරම්භ කළද පසුව එය දිගටම කරගෙන යනුයේ කැමැත්තකින් නොවේ. දුම්වැටියේ අඩංගු නිකොටින් නම් රසායනිකය මගින් එය උරන පුද්ගලයා දැඩි ඇබ්බැහි වීමකට ලක්‌ කිරීම මගින් අකමැත්තෙන් වුවද දිගින් දිගටම දුම්වැටි ඉරීමට පුද්ගලයාව පොළඹවයි. බ්‍රිතාන්‍ය රාජකීය වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව දුම්වැටිය හෙරොයින් සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය තරමටම භයානක දෙයක්‌ වන අතර එය තවමත් ලෝකයේ තහනම් කිරීමට නොහැකිවීම පුදුමය ගෙන දෙන කාරණයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *