Dec 27

පාලන උපක්‍රමයක්‌ ලෙසට ලන්දේසීහු බුදු දහමට අනුග්‍රහය දැක්‌වූහ

The Dutch supported the Buddhism as an administrative device

ලංකාවේ පැවති පෘතුගීසි මුහුදුබඩ පාලනය අවසන් කරමින් 1658 දී මන්නාරමත්, යාපනේ කොටුවත් අල්ලා ගැනීමට ලන්දේසීන්ට හැකිවිය. එයින් පසුව ලන්දේසීන් මෙරට රජවරුන් සමග සංකීර්ණ ස්‌වරූපයකිනුත්, විටක මිත්‍රයන් ලෙසත්, තවත් වරක ආක්‍රමණිකයන් ලෙසත් කටයුතු කළ බව පෙනී යයි. මොවුන්ගේ ප්‍රධාන ආකල්පය වූයේ මෙරට වෙළෙඳ අධිකාරිය සියතට ගෙන ලාභ ලැබීම හා රෙපරමාදු ආගම ව්‍යාප්ත කිරීමයි. බොහෝ විට ලන්දේසීන් යුද්ධවලට මැදිවී කටයුතු කිරීමට අකැමැති වූ අතර සාමයෙන් හා උපක්‍රමශීලීව ස්‌ව අරමුණු සාධනය කර ගැනීමට උත්සාහ ගත් බව පෙනේ. මේ නිසා උඩරට රජුන් සමග මිත්‍රව කටයුතු කිරීමේ අගය ලන්දේසීන් තේරුම් ගත්හ.

ගම්මිරිස්‌, පුවක්‌ හා කුරුඳු වැනි ද්‍රව්‍යයන් උඩරටින් ලබාගෙන කිසිදු බාධකයකින් තොරව නිදහසේ වෙළෙඳාම් කිරීම ලන්දේසීන්ගේ ප්‍රධාන අරමුණ විය. තවද උඩරට හරහා යාපනයට අලි ඇතුන් ගෙන යැමේදී රජුගේ උදව් අවශ්‍ය වූ බැවින් රජු සමග සාමයෙන් කටයුතු කිරීමට මොවුන් නිතර සිහියේ තබා ගත් බව පෙනේ. තවද ලන්දේසීන් යටත් කරගත් ප්‍රදේශවල ජනයා උසිගන්වා අවුල් ඇති කිරීමට රජුට ඇති හැකියාව ගැන ලන්දේසීහු දැන සිටියහ. උඩරට නිෂ්පාදනය කරන ද්‍රව්‍යයන් ඉන්දියාවේ වෙළෙඳපොළට යෑවීමත්, සියම සමග ආගමික සබඳතා පැවැත්වීමත් ලන්දේසීන් සමග මිත්‍රව කටයුතු කිරීමේ අගය රජු ද තේරුම් ගෙන සිටි බව පෙනේ.

උඩරට ඉපිද උඩරට ජනයාගේ සිතුම් පැතුම් අවබෝධ කොටගෙන සාමකාමීව රට ගෙනගිය පාලකයෙකු වශයෙන් දෙවන විමලධර්මසූරිය රජු හැඳින්විය හැකිය. මෙතුමා එකල සිටි භික්‌ෂූන්ගේ අවවාද අනුශාසනා වලට අනුව රට පාලනය කළේය. ලන්දේසීන්ද උඩරට කුරුඳු වෙළෙඳාම දියුණු කිරීමට කෝරළ කීපයක්‌ම රජුට භාර දුන්නේ මේ මිත්‍රත්වය නිසාය. විශේෂයෙන් මෙකල බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පිරිහීගොස්‌ තිබුණ අතර ගණ පූර්ණයටවත් ප්‍රමාණවත් උපසපන් භික්‌ෂූන් නොසිටියේය. මේ නිසා දෙවන විමලධර්මසූරිය රජු පයිල් නම් ලන්දේසි ආණ්‌ඩුකාරයාට හසුන් පත් යවමින් අරකන් දේශයෙන් උපසපන් භික්‌ෂූන් වහන්සේ ගෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. මෙම දූත මෙහෙවරෙහි යෙදුනේ ගණේබණ්‌ඩාර නම් ගණින්නාන්සේය. මෙම ඉල්ලීම ලන්දේසීන් ඉටු කළහොත් පිටිගල් කෝරළය හා තවත් කෝරළ කිහිපයකම කුරුඳු තලා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදෙන බවට රජු පොරොන්දු විය. එයට සවන් දුන් පයිල් ආණ්‌ඩුකාරයා ඉතා කැමැත්තෙන් රජුගේ ඉල්ලීම ඉටු කළේය. මෙසේ ලන්දේසීන්ගේ සහායෙන් අරකන් දේශයෙන් උපසම්පදාව ගෙන මෙරට නැවත එය පිහිටුවාලීමට හැකිය. මෙසේ උපසම්පදාව පිහිටුවුවත් යම් යම් හේතූන් මත එය වැඩි කාලයක්‌ පැවතුණේ නැත.

උඩරට පාලක දෙවන විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසුව එතුමාගේ පුත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා රාජ්‍යයත්වයට පත්විය. මේ වනවිටත් උඩරට රාජ්‍යය දකුණු ඉන්දියානු වාණිජ තොටුපොළවල් සමග සබඳතා පවත්වාගෙන ගිය පුත්තලම හා කල්පිටිය වැනි වරායන් ලන්දේසීන්ගේ සන්තකයේ පැවතුණි. රජු ඒවා විවෘත කිරීමට උත්සාහ කරත් එය අසාර්ථක විය. ඒ නිසා එයට ප්‍රතිචාර ලෙස රජු උඩරට නිෂ්පාදනය කරන ලද සියලුම ද්‍රව්‍යයන් ලන්දේසීන්ට ලබාදීම තහනම් කිරීමත්, උඩරට හරහා වැටී ඇති මාර්ගය වසා දැමීමත් සිදු කළේය. හුදු ලාභ ලැබීමේ අරමුණ නිසාම ලන්දේසීන් අධික ලෙස බදු පැනවූ අතර එය මහ ජනයාගේ අප්‍රසාදයට හේතුවක්‌ විය. මේ ජනතා අප්‍රසාදය මැඬලීමට ලන්දේසීන් සිය හමුදා බලය යෙදවූවද එය අසාර්ථක විය. ඒ නිසා බතාවියෙන්ම මෙරටට පාලන සංශෝධනයක්‌ හඳුන්වා දෙන ලදී.

විශේෂයෙන් ලන්දේසීන් හා උඩරට වැදගත් සාමකාමී සබඳතාවක්‌ ඇති වූයේ ගුස්‌තාෂ් µන් ඉම්හොප් ආණ්‌ඩුකරුගේ අවධියේදීය. 1739 දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මෙලොවින් සමුගත් අතර රාජ්‍ය පෙළපත ද ඒ සමගම අවසන් විය. පසුව නායක්‌කාර පෙළපතින් පැවත එන ශ්‍රී විජය රාජසිංහ රාජ්‍යයත්වයට පත්විය. ලන්දේසීන්ගේ අනුග්‍රහය යටතේ රක්‌ඛංග දේශයෙන් ගෙනවිත් මෙරට උපසම්පදාව පිහිටුවුවත් කෙටි කලකින් එය නැතිවූ නිසා ශ්‍රී විජය රාජසිංහ රජු 1741 දී ද 1747 දී ද නැවත සහය ගෙන සියම් දේශයට දූතයන් යවා උපසම්පදාව ගෙන්වා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථකත්වයට පත්විය. 1947 ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් පසුව රජකමට පත්වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය.

ලන්දේසීන් බුදු දහමට අනුග්‍රහය දැක්‌වූ තවත් අවස්‌ථාවක්‌ වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අවධියේදී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ උපදෙස්‌ අනුව මෙරට පිරිහී ගොස්‌ පැවති, උපසම්පදාව නැවත මෙරට ස්‌ථාපනය කිරීම සඳහා පස්‌ දෙනකුගෙන් යුත් දූත පිරිසක්‌ සියම් රටට යෑවීමයි. සමුදුර තරණය කිරීම සඳහා මොවුන් සහය ලබා ගත්තේ ලන්දේසීන්ගෙන් ලබාගත් “තාර්කා” නම් නැවයි. උක්‌ත සඳහන් පරිදි සරණංකර හිමියන්ගේ උපදෙස්‌වලට අනුව ලන්දේසීන්ගේ උදව් බලාපොරොත්තු වූ කීර්ති ශී රාජසිංහ රජු කොළඹ සිටි ආණ්‌ඩුකාරයා මගින් බෙතාවියට පවා ලියුම් යවමින් උපසම්පදාව ගෙන ඒමට සියම් රටට යෑවීමට හොඳ නැවක්‌ ඉල්ලා සිටියේය. එයට ලන්දේසීන් දැක්‌වූ ප්‍රතිචාරය වූයේ තමන්ට කොතෙක්‌ අලාභ හානි සිදුවුවත් රජුගේ ඉල්ලීම ඉටුකරන බවයි.

විශේෂයෙන් ත්‍රිකුණාමල වරායෙන් ගමන් ඇරඹූ මෙම දූත පිරිස සුමාත්‍රාවෙහි අච්චිටද, නිකොබා දූපත් හරහා මලක්‌කාවට ගිය අතර එහිදී ලන්දේසී ආණ්‌ඩුකාරයාගෙන් බොහෝ ලාභ සත්කාර ලැබූ බව සඳහන් වේ. මෙසේ අවුරුද්දක දූත ගමනකින් පසුව අමරසදටම නම් ලන්දේසීන් සතු දූපතකට මොවුන් පිවිසියේය. එයින් පසු සියම් නිලධාරීන් විසින් මෙම පිරිස සියම් රජු වෙත ගෙනගිය බව සඳහන්ය. සියමෙහි වස්‌ කාලය අවසන් වන තෙක්‌ම මෙම දූත පිරිසට එහි සිටීමට සිදු වූ අතර ඒ නිසා බොහෝ ආගමික සිද්ධස්‌ථානද දැක බලා ගැනීමට හැකිවිය. සියමයට ගොස්‌ මනා පළ පුරුද්දක්‌ ඇති විල්බාවේගෙ රාල සියම් දූත පිරිසක්‌ සමග එරට නැවකින්ම නැවත ලංකාව බලා ගමන් ගත් අතර පට්‌ටපොළ මොහොට්‌ටාල ඇතුළු අනෙක්‌ පිරිස ගමන් කළේ ඕලන්ද නැවක්‌ ආධාරයෙනි. විල්බාවේ ගමන් ගත් නැව නොහොත් සියම් නැව අතර මගදී ජල කාන්දුවක්‌ වූ බැවින් එහි සිටි පිරිස මුවන්ලකෝන් නම් ස්‌ථානට දිවි බේරා ගිය බව විල්බාගෙදර රාලගේ විස්‌තරයෙහි සඳහන්ය. මුංකොටුවේ රාල පවසන්නේ එම පුවත මෙසේය.

සත් දවසක්‌ සිඳු සැපසේ ගො නා
යොත් කුඹ යුත් නැව සිදුරුව යටි නා
පත්ව සිලිල් එසදින් නැව පිරු නා
එත් සඟනුන් ජනයොත් බිය වෙමි නා

සියම් නැව මෙසේ අනතුරට පත් වූයෙන් තවත් නැවක්‌ ලබා ගැනීමට විල්බාවේ ඕලන්ද කොටුවට පැමිණ එහි සිටි ලන්දේසීන් සමග කතා කොට නැවක්‌ ගත් බව සඳහන් වේ. මෙහිදී ලන්දේසීන් නොපිරිහෙලා මේ අයට උදව් උපකාර කළ බව සඳහන් වේ. මෙසේ ඕලන්ද සහායෙන් නැවත නැවක්‌ ලබාගෙන මිරිගිය නම් නැව් තොටෙන් පිටත් වීමට උත්සාහ කළත් එහිදී ද විශාල කුණාටුවකට හසුවී එම නැවද විනාශයට පත් වූ බව සංඝරාජ සාධු චරිතයෙහි සඳහන් වේ. මෙයින් දින කිහිපයකට පසුව කපිතාන් නිකොලොස්‌ ඛාන් හා කපිතාන් මාටිඤ්ඤ යන ඕලන්ද නැව්පතියන් දෙදෙනා මුනගැසී ඔවුන්ගේ සේසලී නම් නැවෙන් දූත පිරිස ගෙන ලංකාවට පැමිණි බව සඳහන් වේ.

එසේම ලන්දේසීන් උඩරට වැඩ සිටි භික්‌ෂූන් වහන්සේ රෝගී වූ විට බෙහෙත් ප්‍රදානය කළ බවට තොරතුරු හමුවේ. මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා සඳහන් කරන්නේ මල්වතු විහාරයෙහි විසූ ගජනායක භික්‌ෂුව හා තවත් භික්‌ෂූන් පිරිසක්‌ අසනීප වූ විට රජු ඒ අය කොළඹට යෑවූ බවත් එහිදී මහානායක ගණින්නැහෙට ඕලන්ද වෛද්‍යවරයකු ප්‍රතිකාර කළ බවත්ය. මේ අනුව ලන්දේසීන් උඩරට රජු සමග හිතවත් සිය වෛද්‍ය ප්‍රතිකාර භික්‌ෂූන් වහන්සේද සිදු කළ බව පැහැදිලිsය. ලන්දේසීන් තමන්ට යටත් ප්‍රදේශවල පන්සල් හා හින්දු කෝවිල් සාදාගැනීමට අවසර දී ඇති බව පෙනේ. මෙය හිසරදයක්‌ වූ දේවගැතිවරුන් වරක්‌ පන්සල් සෑදීම තහනම් කරන ලෙස වෙළෙඳ සමාගමෙන් ඉල්ලා සිටීමට පවා පෙළඹුණි. 1688 වසරේදී කොළඹට පැමිණි උඩරට තානාපති කණ්‌ඩායමක්‌ ලන්දේසී යටත් ප්‍රදේශවල ඇති පන්සල් නඩත්තු කළ යුතු බව දන්වා ඇත. දේවගැතිවරුන්ගේ හා ඕලන්දයෙන් ලැබුණු නියෝග නිසා ලන්දේසීන්ට එම ඉල්ලීම පසුව ප්‍රතික්‌ෂේප කිරීමට සිදුවිය.

උඩරට සිංහල රජතුමා මෙම කාල වකවානුව තුළ කිසිසේත් බෞද්ධාගමික වැඩකටයුතු අත් නොහැරියේය. ලන්දේසීන්ට යටත් ප්‍රදේශවලද ඒ ආකාරයෙන්ම ධෛර්යය දුන් බව පැහැදිලිය. ප්‍රධාන වශයෙන් මුහුදුබඩ ප්‍රදේශවල විහාරස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කිරීම හා බිතු සිතුවම් අලංකාර කිරීම ඒ අතරින් වැදගත් වේ. විශේෂයෙන් මේ සඳහා භාණ්‌ඩාගාරයේ මුදල් ආධාර ඇතිව කලාකරුවන් හා ජන ප්‍රධානීන් එම ප්‍රදේශවලට යවා ඇත. රජුගේ මෙම විහාරස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කිරීමේ ව්‍යාපෘතියේදී ලන්දේසීන් තම යටත් ප්‍රදේශවලද එය ඉටු කිරීමට කිසියම් සහයෝගයක්‌ ලබා දුන් බව පෙනේ.

විශේෂයෙන් මෙහිදී අපට මතුවන ගැටලුව වන්නේ රෙපරමාදු භක්‌තිකයන් වූ ලන්දේසීන් කිනම් අරමුණකින් බෞද්ධාගමික උපසම්පදාව මෙරටට ගෙන ඒම වැනි කටයුතු වලදී බුදුදහමට සහය දුන්නේ ද යන්නයි. ඔවුන් එසේ කිරීමෙන් සපුරාගත් අරමුණු ගණනාවක්‌ම ඇත. ඒ අතර උඩරට ආර්ථික බලය දිනා ගැනීම හා සියමය සමග ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීම වැදගත් විය. යම් ලෙසකින් ලන්දේසීන් රජුට උපකාර නොකළහොත් රජු මදුරාසියෙහි සිටි බ්‍රිතාන්‍යයන්ගෙන් හෝ පොන්ඩිෙච්රියේ සිටි ප්‍රංශ ජාතිකයන්ගෙන් ආධාර ගෙන උපසම්පදාව පිහිටුවීමට තීරණය කර ඇත. මේ නිසා කෙසේ හෝ සිංහල රජුට උපකාර කර තම වෙළෙඳ ආධිපත්‍යය ස්‌ථාපනය කිරීමට කටයුතු කර ඇත.

උපක්‍රමයක්‌ ලෙස ලන්දේසීන් බුදු සමයට සුළු වශයෙන් අනුග්‍රහය දැක්‌වූවත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේ බුදුදහම සම්පූර්ණයෙන් මර්දනය කිරීමයි. බතාවියාවේ සිටි අග්‍රාණ්‌ඩුකරු ලංකාවේ ආණ්‌ඩුකරුට උපදෙස්‌ දුන්නේ “ප්‍රතිමා වන්දනයට ඉඩ නොදිය යුතු බවත්, ඔබ පන්සල් ඉදි කිරීමට අවසර නොදුන්නා සේ ම බුද්ධාගමට කිසිදු මෘදු ගතියක්‌ නොපෙන්වා මර්දනය කළයතු බවත් ය.” මොවුන්ගේ පාලනය හමුවේ පොහොය දිනවලදී බෞද්ධයන් විඳි ආගමික නිදහස පවා පිළිනොගත් අතර බෞද්ධයෙකු නම් ඉඩම් ප්‍රධාන ලැබිය නොහැකි වීමත්, වහලුන් මිල දී ගැනීමට හෝ ළඟ තබා ගැනීමටත් නොහැකි විය. එම වරප්‍රසාදය හිමි වූයේ කිතුනුවන්ට පමණි.

විශේෂයෙන් 1670 ඔක්‌තෝබර් 16 වැනි දින නිකුත් කළ නියෝගයකට අනුව කිතුනු නොවු ස්‌ත්‍රීන්ට මාංචු දමා සිරගෙයි තැබිය හැකිය. තවද මරාළ බද්ධ නම් පීඩාකාරී බද්ධ මාතර දිසාවනියේ වාසය කළ බෞද්ධයන්ගෙන් පමණක්‌ අය කරගෙන ඇත. පවුලක දරුවෙකු බෞතීස්‌ම නොකළහොත් එම දරුවා අවජාතකයෙකු ලෙස සලකණු ලැබීය. තවද දෙදෙනකු විවාහයට පත්වීමේ කිතුනුවන් වශයෙන් දියුරාලීමෙන් ඉහළ පිළිගැනීමක්‌ ලැබුණු අතර එසේ දියුරා නොමැති විට දරුවා බෞතීස්‌ම කිරීමට නොහැකි බවද දක්‌වා ඇත. ලන්දේසීන්ගේ අධිකරණය විශිෂ්ට එකක්‌ වුවත් ඔවුන්ගේ නීතියේ බලය හා ආගම අතර ඝට්‌ටනයක්‌ පැවතුණි. මේ සඳහා ප්‍රධාන වශයෙනි බලපෑවේ බෞද්ධයන්ට පැනවූ නීති රීතිය. විශේෂයෙන් කිතුනුවකු නොවන අයෙකුගේ සාක්‌ෂි කිතුනුවෙකුට එරෙහිව කිසිසේත් යොදා ගත්තේ නැත. ලන්දේසීන් සිය බලය ව්‍යාප්ත කිරීමේ පියවරක්‌ ලෙස ආගම ප්‍රචාරයේ දී බොහෝ විට සිය පූජකවරුන් යොදාගත් බව පෙනේ. පූජකවරුන්ගේ ආගමික ප්‍රචාර සාර්ථක කර ගැනීම සඳහා ආණ්‌ඩුකාරවරුන්ගෙන් නොමද සහායක්‌ ලැබුණි. ශාරීරික වශයෙන් හිංසා සිදු නොකළත් විවිධ ආඥා මගින් බෞද්ධයන් රෙපරමාදු ආගමට හරවා ගැනීමට කටයුතු කර ඇත. එහිදී ආගමට නොබැඳුණු අයගේ ඉඩම්වලින් තුනෙන් පංගුවක්‌ රජයට ගැනීමද දක්‌නට ලැබුණි.

මේ ආකාරයට උක්‌ත කරුණු දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලිවන්නේ ලන්දේසීන්ට කිසිසේත් බුදු දහමට අනුග්‍රහය දැක්‌වීම සඳහා කිසිදු අවශ්‍යතාවයක්‌ නොවූ බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ ලංකාවේ පැවති ආගම් මර්දනය කර සිය රෙපරමාදු ආගම ව්‍යාප්ත කිරීමත්, ප්‍රදේශයන් ආධිපත්‍යයට නතු කර ගැනීමත්ය. විශේෂයෙන් ලන්දේසීන් දෙවන විමලධර්මසූරිය රාජ්‍යය සමයේ හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ මෙරටට උපසම්පදාව ගෙන ඒම සඳහා අනුග්‍රහය ලබා දීම, උඩරට ප්‍රධාන භික්‌ෂූන් අසනීප වූ විට බෙහෙත් කිරීම හා සිය යටත් ප්‍රදේශවල වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණයට යම් තරමකින් ඉඩ සලසා දීම ආදී වශයෙන් බුදුදහමට අනුග්‍රහය දැක්‌වූයේ පැහැදිලිවම සත්භාවයෙන් නොව උඩරට රජුගේ හොඳ හිත දිනා ගැනීමටත්, සිය බල අවශ්‍යතාවන් සපුරා ගැනීමටත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *