Dec 26

කටට ටිකක්‌ තිත්ත වුවත් ගතට හොඳටම රසවත් මාතලේ ග්‍රීන්

The Matale Green is very interesting for the bitter bit

දාර සහිත තදකොළ පළමු දේශීය වර්ගය

 තදකොළ වර්ගවලින් රුධිරයේ සීනි පාලනය ඉහළට….ශාක අභිජනන විද්‍යාඥයින්ගේ එක කාර්යභාරයක්‌ වනුයේ දේශීයව විසිරී පවතින බෝග මාදිලි ගවේෂණය කිරීමත්, ඒවා එක්‌රැස්‌ කිරීමත්ය. සොබා දහමේ නිර්ණායකයන්ට කීකරුව ඇති දැඩිවී, පරම්පරාගතවී රට පුරා විහිද පවතින මෙම ජෛව විවිධත්වය අතරින් තෝරා ගතහැකි උසස්‌ නිමැවුම් තිබේනම්, ඒවා සැමටම පලදායී අයුරින් හඳුන්වාදීම මෙම විද්වතුන්ගේ ක්‍රියාකාරකමකි.

මෙසේ ගවේෂණයේ යෙදුනු ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ ආයතනයේ නිලධාරි කණ්‌ඩායමක්‌ මීට දශක දෙකකට පමණ පෙර මාතලේ ප්‍රදේශයෙන් සොයාගත් කරවිල ප්‍රභේදයක්‌ මාතලේ ග්‍රීන් යන නමින් එයින් වසර 10 කට පමණ පසු ගොවීන් සඳහා නිර්දේශ කෙරුවේ අදාළ සියලු පරීක්‌ෂා සහ මාදිලි පිරිපහදුව නිම කිරීමෙන් පසුවයි. ඊට පුරෝගාමීවූ විද්වතිය වන්නේ පර්යේෂණ නිලධාරිනී නිර්මලා පරරාජසිංහම් වේ. අද ඇය විශ්‍රාම ලබා සිටියත්, මන්දගාමී ගොවි ආකර්ෂණයක්‌ ලබමින් සිටි මාතලේ ග්‍රීන් මෑතක සිට ඉහළ ජනප්‍රියත්වයක්‌ පෙන්වමින් සිටී.

ශ්‍රී ලාංකිකයින්ගේ බත්පත සරසන ව්‍යංජනයක්‌ ලෙස කරවිල එකතු වුවත්, මෙහි යුෂ පානය කිරීම අපගේ අසල්වැසි රටවල බහුලව සිදුකෙරේ. අන්තර්ගත විටමින් ඇතුළු ඖෂධීය ගතිගුණ නොඅඩුව උකහා ගැනීමට මේ හරහා ඔවුහු සමත් වෙති. යුෂයේ තිත්ත රස අඩු කිරීමට පැණි ස්‌වල්පයක්‌ මුසු කිරීම හෝ ඇපල් හෝ මිදියුෂ මිශ්‍රකර පානය කිරීම ඔවුන්ගේ සිරිතය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2016 වසරේදී මෙරට කරවිල වගා වපසරිය හෙක්‌ටයාර් 3835 කි. මේ හරහා මෙටි්‍රක්‌ ටොන් 42101 ක අස්‌වැන්නක්‌ ලබා ඇත. එනම් සාමාන්‍ය අස්‌වැන්න වනුයේ හෙක්‌ටයාරකට ටොන් 11 ක්‌ පමණය. දැනට වගා වපසරියෙන් සෑහෙන ප්‍රතිශතයක්‌ වැඩි අස්‌වැන්න ලබාදෙන හයිබ්‍රිඩ් මාදිලි වලින් අත්කරගෙන ඇති නිසා මෙම අස්‌වැන්න හයිබ්‍රිඩ් වලටද අයත්වේ. හයිබ්‍රිඩ් නොවූවත් මාතලේ ග්‍රීන් හි අස්‌වැන්න විභවයද මෙම සීමාවේම පැවතීම ගොවීන්හට වාසිදායක තත්ත්වයකි. මන්දයත් දෙමුහුම් මාදිලි වගාකරනා විට බීජ වෙනුවෙන් අතිරේක පිරිවැයක්‌ දරන්නට සිදුවීම නිසාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති එම්. සී. 43 ප්‍රභේදය කටු සහිත ලා කොළ පැහැති ඵලයක්‌ දරන අතර එය නිර්දේශ කර වසර 70 ඉක්‌ම ගොසිනි. තින්නවෙලි වයිට්‌ වර්ගයට ඇත්තේ සුදු පැහැති දාරයන්ය. මේ අනුව දේශීය වර්ගයක්‌ ලෙස තද කොල පැහැ, දාර සහිත වර්ගයකට තිබූ හිඩැස පිරවූ මාතලේ ග්‍රීන් පසුගිය වකවානුව තුළ ගොවීන් අතර එතරම් ප්‍රචලිත නොවූයේ විශාල ගෙඩි සහිත විදේශීය හයිබ්‍රිඩ් වර්ගයන්ගේ ආගමනය නිසා විය හැකිය. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් දේශීය ජාන සාරයේ අගය වැටහී ගිය නිසාදෝ ගොවි ප්‍රජාව මාතලේ ග්‍රීන් වෙත නැඹුරුවෙමින් සිටිනා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවි වාර්තා වලින් පෙනී යයි.

මාතලේ ග්‍රීන් විවෘත පරාගනයෙන් බීජ නිපදවන මාදිලියක්‌ නිසා හයිබ්‍රිඩ් මෙන් නොව ගොවීනට තම බීජ වෙහෙසකින් තොරව තමාටම නිපදවා ගැනීමට පුළුවන. අද වෙළෙඳපොළේ පවතින වැටකොළු කරල් තරමට විශාල වන කරවිල ගෙඩි වලට පාරිභෝගිකයා එතරම් කැමැත්තක්‌ නොදක්‌වන්නේ ජල ප්‍රතිශතය වැඩිවන නිසා සිදුවන ආවේනික රසෙහි අඩුවීමත්, පරිහරණයේ ඇති අපහසුවත් නිසා බැවින්, මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි හටගන්නා මාතලේ ග්‍රීන් ඒ අනුව පෙරමුණ ගනී.

මේ වර්ගයේ කටු නෑ. තියෙන්නේ දාර. ඒ නිසා ප්‍රවාහනය පහසුයි. කටු තියෙනකොට ඒව කැඩිලා තුවාල කලුපාට වෙලා පාරිභෝගිකයින් වෙතින් ප්‍රතික්‌ෂේප වෙනවා. අනිත් එක තමයි මේ වර්ගයේ ගෙඩි තද කොළ පාටයි. සෞඛ්‍යයට හුඟක්‌ හිතකර වෙන්නේ කොළපාට වැඩි කරවිල වර්ග කියල සොයාගෙන තියෙනවා.

තම වරණය පිළිබඳව එසේ අදහස්‌ දැක්‌වූවේ නිර්මලා මහත්මියයි. විවේකී ඉන්දීය නිවාඩුවකින් පසු ඇය පෙරළා පැමිණ සිටී. ගණන් බලා ඇති ආකාරයට කරවිලවල පසු අස්‌වනු හානිය 25% ක්‌ පමණ වේ. ගෙඩි ඉදීයාම සහ යාන්ත්‍රික හානිය ඊට හේතුවයි. පොලිසැක්‌ මලුවල අසුරා ප්‍රවාහනය කිරීමේදී යාන්ත්‍රික හානිය තවත් වැඩිවන අතර කටු සහිත ගෙඩි මෙන් නොව මාතලේ ග්‍රීන් වැනි වැටි සහිත මාදිලිවලින් මෙම අස්‌වනු හානියට හොඳ ප්‍රතිරෝධයක්‌ ඇතිකරන බව ගොවීහුද පවසති.

කටට තිත්ත වුවත් ගතට රසවත්වන කරවිල වල ඇති සුවදායී ගතිගුණ ගැන විවිධ හැදෑරීම් සිදුකර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සාම්පලයක්‌ යොදාගෙන කළ අධ්‍යයනයකින් පැහැදිලිව සනාථ කර ඇත්තේ කොළ පැහැ කරවිල අනුභවයෙන් පසු රුධිරගත සීනි සැලකිය යුතු මට්‌ටමකින් පහළ බසිනා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *