Jan 01

මානසික ආතතිය වැළඳෙන හෘද රෝගී කාන්තාවන්ගේ ජීවිත අවදානමක

The risk of cardiovascular disease is high

මෙහිදී සැවොම මතක තබා ගත යුතු කරුණක්‌ වනුයේ හෘද රෝගවලට ගොදුරු වූවන් ආතතිය වැළැක්‌වීමට කටයුතු කළ යුතු බවයි

ආතතිය පෙර අවස්‌ථාවලදී අනාවරණය වූවාට වඩා කාන්තාවන්ට දැඩිසේ බලපෑම් එල්ල කරනු ලබන බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

ඇමරිකා එක්‌සත් ජනපදයේ එමොරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ආතතියෙන් දැඩි සේ පීඩා විදිනුයේ හෘද රෝගවලින් පෙළෙන කාන්තාවන් වන අතර එම කාන්තාවන්ගේ හෘදය වස්‌තුවට දැඩි පීඩාකාරී තත්ත්වයක්‌ යටතේ රුධිරය සැපැයීම අඩු කිරීමට ආතතිය හේතු වන බව හෙළි වී තිබේ.

මෙසේ රුධිරය සැපැයුම අඩු කිරීම නිසා හෘදය වස්‌තුවට ආයාසයකින් රුධිරය පිටතට ප්‍රවාහනය කිරීමට සිදුවී දරුණු හෘද රෝග තත්ත්වයකට මුහුණ පෑමෙන් ආතතියට පත් කාන්තාවක්‌ මුල් අවස්‌ථාවේදීම මිය යාමේ හැකියාවක්‌ ඇතැයි අධ්‍යයනය මෙහෙයවූ එමොරි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය වයලා වැක්‌කැරනෝ පවසන්නීය.

මෙම අධ්‍යයනය වැදගත් වනුයේ පෙර සිදු කරන ලද අධ්‍යයනවලදී කාන්තාවකට මානසික ආතතියට මුහුණ පෑමට සිදු වූ විටදී ඇයගේ හෘදය වස්‌තුවට සපයන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් හෘදයාබාදයකට ගොදුරුවීමේ අවදානම දෙගුණ වී හෘද රෝගවලින් මිය යා හැකි බව අනාවරණය වීම නිසා යෑයි ඇය කියා සිටින්නීය.

මෙම තත්ත්වය මත කාන්තාවන් දැන ගත යුතු වැදගත් කරුණක්‌ වනුයේ ඔවුන් මානසික ආතතියෙයන් දැඩි බලපෑමකට ලක්‌වන නිසා හෘදයවස්‌තුව ආරක්‍ෂා කිරීමට ගත යුතු පියවරයන් ගත යුතු බවයි. “මෙහිදී සිත සැහැල්ලු කිරීමේ තාක්‍ෂණයන් හා කායික ව්‍යායාමයන් ප්‍රධානයි.” වෛද්‍ය වැක්‌කැරිනෝ සඳහන් කළාය. මෙම අධ්‍යයනයේදී පර්යේෂකයින් විසින් වයස අවුරුදු 63 ක්‌ පමණ වන වැඩිහිටි හෘද රෝගවලට ගොදුරු වී සිටින කාන්තාවන් හා පිරිමින් 678 දෙනෙකු අධ්‍යයනයට ලක්‌ කර තිබේ. අධ්‍යයනයට ලක්‌ වූවන් කථා කරන විටදී පර්යේෂකයින් විසින් ඔවුන්ගේ රුධිර පීඩනය හා හෘද ස්‌පන්දන රටාවන් අධ්‍යයනය කර හෘදය වස්‌තුවේ පිංතූර ලබා ගැනීමට කටයුතු කර ඇත. එමෙන්ම ඔවුනගේ ඇගිලිවලට රුධිරය සපයන ධමනිවල තත්ත්වයද සලකා බලා ඇත.

මෙහිදී අනාවරණය වී ඇත්තේ දැඩි සේ මානසික ආතතියයට ලක්‌වූ කාන්තාවන්ගේ හෘදය වස්‌තුවට රුධිරය සැපැයීම අඩු වී ඇති අතර එයට හේතුවී ඇත්තේ කුඩා රුධිර වාහිනී තවත් කුඩා වීම නිසා බවයි.

මෙම අධ්‍යයනයේදී මානසික ආතතියට ලක්‌වූ පිරිමින්ගේද හෘදය වස්‌තුවට රුධිරය සැපැයීම අඩු වන බව හෙළි වී ඇති අතර එයට හේතු වී ඇත්තේ අධිරුධිර පීඩනය හා හෘද ස්‌පන්දන වේගය වැඩිවී හෘදය වස්‌තුවට සිදු කළ යුතු කාර්යයන් ප්‍රමාණය අධික කිරීම බව මෙම පර්යේෂකයෝ කියා සිටිති.

“මෙහිදී සැවොම මතක තබා ගත යුතු කරුණක්‌ වනුයේ හෘද රෝගවලට ගොදුරු වූවන් ආතතිය වැළැක්‌වීමට කටයුතු කළ යුතු බව යෑයි” ඔවුහු සඳහන් කර සිටිති.

ඒමන්ති මාරඹේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *