Dec 27

ඊයේ පැරෑලියේ සුනාමි සැමරුම් රාජ්‍ය උත්සවය

The State Festival of Tsunami was held yesterday

2004 දෙසැම්බර් 26 වැනිදා ඇති වූ සුනාමි ඛේදවාචකය නිසා මුහුදුබඩ ප්‍රදේශවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය. ජාති, ආගම්, කුල, භේද නොතකමින් සුනාමිය ජීවිත 35,332 ක්‌ බිලිගත් අතර නිවාස, දේපළ විශාල සංඛ්‍යාවක්‌ ද විනාශ විය. රුදුරු සුනාමියට ඊයේ (26 දා) වසර 13 ක්‌ ගත විය. මේ වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ආගමික කටයුතු සිදු කෙරිණි.

සුනාමි විපතේදී විශාලතම දුම්රිය අනතුර සිදු වී 1500 කට අධික ජීවිත හානි සිදු වූ හික්‌කඩුව, පැරෑලිය ප්‍රදේශයේ සුනාමි ස්‌මාරකය අබියසදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වයෙන් ඊයේ රාජ්‍ය උත්සවය පැවැත්විණි. මෙහිදී සර්ව ආගමික වතාවත් පවත්වා මියගිය ඥතීන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම සිදු කෙරිණි.

මේ නිමිත්තෙන් පිරිත් දේශනා කරමින් මහා සංඝරත්නය සහ අනතුරට පත් වූ දුම්රියේ ගමන් කර මියගිය අයගේ ඥාතීන්ද රැගත් විශේෂ දුම්රියක්‌ ඊයේ පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් පිටත්ව පැරෑලියට පැමිණියේය.

පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියසදී මියගිය අය සිහිකර පුෂ්පෝපහාර පිදීමෙන් පසු ආගමික වතාවත්ද සිදු කෙරිණි. මෙම අවස්‌ථාවට ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‌ෂ ජනරාල් ජී. එල්. එස්‌. සේනාධීර, ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් එස්‌. ටී. කොඩිකාර, ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 බළකායේ මේජර් ජෙනරාල් සුගත් පෙරේරා ඇතුළු නාවික හමුදාවේ සහ පොලිසියේ උසස්‌ නිලධාරීහු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *