Sep 30

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දෙන්න අපට පුළුවන්. නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දය දෙන්න අපට පුළුවන්කමක් නැහැ

ජාතික වැඩපිළිවෙළක් ඇති කර ගැනීමේ එකඟත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දෙන්න අපට පුළුවන්. නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දය දෙන්න අපට පුළුවන්කමක් නැහැ. පොහොට්ටුවේ නම්‍යශීලීභාවය ඇති වුණේ නැත්නම් පාක්ෂිකයන් විධියට අනාගතය කුමක් දැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (29දා) පැවැති කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී පැවැසීය. ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

‘විධායක ජනාධිපති ක්‍රමයේ පසුබිම කුමක්ද? බලයට එන්න කලින් ධර්මාශෝකලා බලයට ආවට පස්සේ චණ්ඩාශෝකලා බවට පත්වෙනවා. මගේ අවුරුදු පහ තුළ මේ රටේ මීට පෙර හිටපු විධායක ජනාධිපතිවරුන් පස්දෙනාට තිබුණු චෝදනා කිසිවක් මට නැහැ.

මම ඒ අශීලාචාර දේශපාලන චෝදනාවලට ලක් නොවෙච්ච කෙනෙක්. අද ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කියන එක මම ඉතා පැහැදිලිව කියන්න ඕනෑ.’

එක්සත් ජාතික පක්ෂයත් එක්ක මම ආණ්ඩු කරන විට, රනිල් වික්‍රමසිංහගේ අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන දර්ශනය සහ මෛත්‍රිපාල සිරිසේනගේ බණ්ඩාරනායක දර්ශනයේ අතර ගැටුම් ඇති වුණා. රනිල්ගේ සහ මගේ ගැටුම හොඳ සහ නරක අතරේ ගැටුමක්. ඒ නිසා මට සිදුවුණා අවසානයේ රනිල් අගමැති කමෙන් පන්නල මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයට මම ආණ්ඩුවක් හදල දුන්නා.

නමුත් ඒ ගොල්ලන්ට 113 හදාගන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒක මගේ වැරැද්ද නෙවේ.

‘මේක රහසක් නෙවි. පොහොට්ටුවයි. අපියි සමඟි සන්ධානයක් හදන්න දැන් මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා කළා. ඊයේ උදේ මහින්ද රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි, බැසිල් රාජපක්ෂ මහත්තයයි ජනධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කළා. අපි හතර දෙනාම සාකච්ඡා කළා ඒ සන්ධානය හැදීම ගැන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අපිට ඡන්දය දෙන්න පුළුවන්. ජාතික වැඩපිළිවෙළක් ඇති කර ගන්න එකඟත්වයක් තුළ. නමුත් පොහොට්ටුව ලකුණට ඡන්දෙ දෙන්න අපට පුළුවන්කමක් නැහැ.’

‘මෙච්චර දේවල් කරපු අපි, අපි ඉදිරිපත් කරන යෝජනාවට, පොහොට්ටුවේ නම්‍යශීලීභාවය ඇති වුණේ නැත්නම්, පාක්ෂිකයෝ විධියට අනාගතය කුමක් වෙයිද? සමහර අය කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එකක් දැන් නැහැල්ලු. දියවෙලා ගිහිල්ලලු. හැබැයි නොවැම්බර් මාසයේ 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයේදී මේ රටේ ජනාධිපතිවරයකු තෝරාගන්න ඉදිරිපත් වන හැම අපේක්ෂකයෙක්ම කියනවා, එළියෙත් කියනවා, පිටත් කියනවා, හොර රහසෙත් කියනවා, අපිටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව නම් අපිට ජනාධිපතිවරයෙක් බිහිකරන්න බැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරන්නේ බලතල නැති ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට වඩා බලතල තියෙන ආණ්ඩුවක් හදන්න විස්සයි විස්සේ පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම සඳහායි. මොන බණ දේශනා කළත්, වේදිකාව එකක්, ටෙලිෆෝන් එකෙන් තව එකක්, හවසට ගෙවල් අස්සෙ තව එකක්.

‘මේ රටේ දූෂිත ප්‍රභූ පන්තිය, මේ රටේ දූෂිත ධනේශ්වර දේශපාලනයේ සිටින අය, දැන් අවුරුදු විසි පහක් තිහක් රට විනාශ කරලා තියෙනවා. මෙතැනින් මේ රට අලුත් මඟකට යන්න ඕනෑ. මේ රට අලුත් ගමනක් යන්න ඕනෑ. දූෂණයෙන්, වංචාවෙන්, නාස්තියෙන් තොරව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැඟෙන්න ඕනෑ. ඒ සඳහා අපි අලුත් ආණ්ඩුවක් හදනවා. අපි ආණ්ඩුවක් හදනවයි කිව්වම අපි කියනදේත් තියෙනවා. කියන්න බැරිදේත් තියෙනවා. නොකියන දේත් තියෙනවා. ඒක නිසා කියන්න පුළුවන් දේ තමයි මේ කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *